ජන සන්නිවේදනය හා සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රවල පර්යේෂණ නම් වූ අනු විෂයයක් ඇත. එමඟින් සිදු කරනුයේ කිසියම් නිශ්චිත කාර්යයන් පිළිබඳ න්‍යායාත්මක අධ්‍යයනයක් ඔස්සේ කරනු ලබන පර්යේෂණ ක්‍රියාවලියක් මඟින් නිගමනයකට පැමිණීමයි. ඒ ඔස්සේ පවතින ගැටලුවක් නිරාකරණය හෝ තිබෙන සිද්ධාන්තමය කාරණයක් වැඩිදියුණු කිරීමක් නැතිනම් නව න්‍යායක් ගොඩනඟා ගැනීම සිදු කරයි.
මේ ගෙවෙමින් පවතින්නේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන කාලසීමාවයි. සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ස්වකීය දෘෂ්ටිකෝණයෙන් විශ්ලේෂණාත්මක ඇගයීම් සිදු කොට නිගමන ලබාදීම සිදු කරමින් තිබේ. එහි සත්‍ය අසත්‍යතාව හෝ සාවද්‍ය නිරවද්‍යභාවය පිළිබඳව අර්ථකථන සැපයීම අපගේ කාර්යය නොවේ. එහෙත් ඒ පිළිබඳව කිසියම් න්‍යායාත්මක විශ්ලේෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
අපගේ හඳුනා ගැනීම අනුව මෙවර මැතිවරණ ප්‍රතිඵලය එම මැතිවරණයට ඉදිරිපත් වූ සියල්ලෝම සතුටට පත් කිරීමට සමත් වූ එකක් වී තිබේ. ජයග්‍රහණය ලැබූ අයට මෙන්ම එක මන්ත්‍රී ආසනයක් හෝ ලබා ගැනීමට හැකි වූ ස්වාධීන කණ්ඩායම්වලට ද සතුටට පත්වීමට හැකි කාරණයක් මෙම මැතිවරණ ප්‍රතිඵලය තුළ ගැබ්ව තිබේ. මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ පක්ෂ, විපක්ෂ අයගේ සතුටු මුහුණු, අනාගත සැලසුම් ජනමාධ්‍යයේ හා මුහුණුපොත හරහා දිගහැරී තිබීම සතුටට කාරණයකි.
මීට පෙර අප අසා තිබුණේ කිසිවකින් සියල්ලම සතුටු කළ නොහැකි හෙයින් සමාජයේ සියලු දෙනාම සතුටු කිරීමට නම් අයිස්ක්‍රීම් විකිණීම වැනි කටයුත්තක් කළ යුතු බවයි. සියලු දෙනාම අයිස්ක්‍රීම් අනුභව කිරීමට ඇති කැමැත්ත ඊට හේතුවයි.
වෙසක් පොසොන් උත්සවවල පවතින දන්සල්වලදී එකිනෙකා පමණට වඩා අයිස්ක්‍රීම් භුක්ති විඳින්නේ ද මේ හේතුවෙන් විය හැකිය. නමුත් අයිස්ක්‍රීම්වලටත් වඩා සතුටුදායක ප්‍රතිඵලයක් ලබාදීමට මෙවර පළාත් පාලන මැතිවරණය සමත් වීම හේතුවෙන් පළමුව එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ බලධාරි පාර්ශ්වයට ද මැතිවරණ කොමිෂන් සභාවට ද ස්තුතිය පළ කළ යුතු ය.
මානව ශාස්ත්‍ර පර්යේෂණයට අදාළ පැහැදිලි කිරීමක් වනුයේ දැනුම වැඩි කිරීමට සිදු කරන ඕනෑම දත්ත තොරතුරු සිද්ධි එකතු කිරීමක් පර්යේෂණයක් යනුවෙනි. එසේ නම් මැතිවරණ ප්‍රතිඵලයේ දත්ත මත පදනම්ව සියලු දේශපාලන පක්ෂ සතුටට පත්වීම වැදගත්ම කාරණයයි.
ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් කෙරෙන එකී අර්ථකථනාත්මක විග්‍රහවලින් පළමුව ඔවුන්ගේ පාක්ෂිකයා තෘප්තිමත් මනෝභාවයකට පත් වනු ඇත. සෑම පක්ෂයකටම එවැනි අනුගාමික භක්තිමත් පාක්ෂිකයෝ සිටිති. එම නිසා ඔවුහු ඔවුන්ගේ පක්ෂ නායකයා විසින් කරනු ලබන අර්ථකථනාත්මක විශ්ලේෂණය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගනිති.
එහෙත් ඡන්ද දායකයා යනු ඊට වඩා වෙනස් මනෝභාවයකින් යුක්ත වූවෙකි. ජන සමාජයේ දේශපාලනය කළ යුත්තේ පාක්ෂිකයා සමඟින් මෙන්ම ඡන්ද දායකයා ද සමඟින් ය. ඡන්දය නොදෙන පිරිස් ඡන්ද දායකයන් බවට පත් කරගැනීමේ වැඩපිළිවෙළ ඔවුන් සතුව තිබිය යුතු ය. න්‍යායාත්මක කාරණා පාක්ෂිකයා සමඟ සාකච්ඡා කරන ගමන් පොදු සමාජ මනෝභාවය පිළිබඳ අවබෝධයෙන් ඡන්ද දායකයා සමඟ කටයුතු කළ යුතුව ඇත.
මෙවර මැතිවරණ ප්‍රතිඵලය දෙස විශ්ලේෂණාත්මක අධ්‍යයනයේදී දෙනු ලබන සංඥාව වනුයේ මහ පොළොව මත දේශපාලනය කිරීමට පාක්ෂිකයාගේ මනෝභාවය සමඟ මෙන්ම ජන්දදායකයාගේ මනෝභාවය ද හඳුනාගැනීමට ද සමත් විය යුතු ය යන්නයි.
මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයේදී එකී සංසන්දනාත්මක හා විශ්ලේෂණාත්මක ප්‍රවේශය වඩා හොඳින් ගැළපිය යුත්තේ ඡන්ද දායකයාගේ මනෝභාවයටයි. එසේ නොවුණහොත් කෙටි කාලීන සමාජ යථාර්ථයන් මත ඡන්දදායකයාගේ මනස ඉතා ඉක්මනින් වෙනස් වනු ඇති බවට වන සංකල්පීය සාධකය හඳුනා ගැනීම සියලු දේශපාලන පක්ෂවලට වැදගත් වන කාරණයකි.
ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කාලාන්තරයක් තිස්සේ ස්ථාපිතව පැවති ශ්‍රී ලංකාව වැනි ජන සමාජයක් තුළ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ස්ථාවර ඡන්ද බැංකු නොතිබෙන බව හඳුනාගැනීම අතිශය වැදගත් කාරණයකි.
ස්ථාවර ඡන්ද බැංකු ගොඩනඟාගත හැකි වන්නේ ඡන්ද දායකයා පාක්ෂිකයා බවට පත් කරගැනීම සඳහා ක්‍රමවේද සකස් කර ගැනීමෙන්ම පමණකි. ලෝකයේ ධනවාදී කඳවුරේ සහ සමාජවාදී කඳවුරේ දේශපාලන පක්‍ෂවල හැසිරීම අධ්‍යයනය කිරීමෙන් මේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගත හැකිය.
කවර තත්ත්වයක් යටතේ වුව ද මෙම මැතිවරණයෙහි ප්‍රතිඵල විශ්ලේෂණය කළ යුත්තේ ඊට පෙර පැවැති පළාත් පාලන මැතිවරණය සමඟයි. සංසන්දනාත්මක සහ විශ්ලේෂණ ප්‍රවේශයේදී එකිනෙකට නොගැළපෙන සංකල්පීය සාධක සමඟ කරනු ලබන විශ්ලේෂණාත්මක විග්‍රහ පිළිගැනීමට ලක් නොකෙරේ.
ඉතාමත් සරලව කිවහොත් පළාත් පාලන මැතිවරණයක් ජනපතිවරණයක් හෝ මහමැතිවරණයක් සමඟ සැසඳිය නොහැකිය. එය වෙනස් තත්ත්වයන් හා මනෝභාවයන් මත පදනම් වූවක් බව හඳුනාගත යුතු ය. එකිනෙකට හාත්පසින් වෙනස් සංකල්පීය සාධක දෙකක් සංසන්දනාත්මක සහ විශ්ලේෂණ ප්‍රවේශයේදී භාවිත නොකරයි.
නමුත් මෙකී කවර හෝ අසංතුලිත පර්යේෂණ ක්‍රමවේදයක් මත පදනම්ව ලබාගත් දත්ත පවතින්නේ නම් ඒවා මිනිස් හැසිරීම් සහ එම හැසිරීම් පාලනය කිරීමට උපයෝගී වන්නේ කවර ආකාරයෙන්දැයි තේරුම් ගැනීම ජන සමාජයේ සියලු දෙනාටම වැදගත් වන කාරණයකි.
මැතිවරණ ප්‍රතිඵලවලින් ලබාගත් දත්ත සහ තම තම දැනුම් පද්ධතීන්වලට අනුකූලව ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ඇතිකරගත් නිගමන ද අතිශයින් වැදගත් වනු ඇත. ඔවුනගේ ඉදිරි දේශපාලනික ක්‍රියාකාරකම් හා පැවැත්ම ඒ මත ගොඩනැඟීම වැළැක්විය නොහැකිය.
දැන් ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණවලින් ඔබ්බෙහි කාලසීමාවයි. මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ඕනෑ තරම් තව තවත් සමාජගත විය හැකිය.
ජයග්‍රාහකයන්ට ජයග්‍රාහකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් ද පරාජිතයන්ට තමන්ට ලැබුණු ප්‍රතිඵලය එම දෘෂ්ටිකෝණයෙන් ද ගෙන ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග තෝරාගත හැකි වනු ඇත. වඩා වැදගත් වන්නේ එය ශ්‍රී ලාංකේය ජන සමාජයේ පොදු ජන මනස සමඟ කෙතරම් දුරට බද්ධ වන්නේ ද යන කාරණයයි. මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ සරල විශ්ලේෂණාත්මක ඇගයීම නම් මහ පොළොවේ දේශපාලනය කිරීමට නම් ජන සමාජයේ පොදු ජන මනස ඉතා හොඳින් හඳුනාගත යුතු බවයි.
එලෙසට පොදු ජන මනස සමඟ බද්ධ වූ දේශපාලනික ක්‍රමවේදයක් සඳහා ශ්‍රී ලාංකේය දේශපාලනය විධිමත් ආකාරයෙන් සකස් විය යුතු බවත් අපි ලියා තබමු.