Home » වාලම්පුරි වාර්තා අතරට

වාලම්පුරි වාර්තා අතරට

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ලක්මාල් ධර්මරත්න තිර රචනය කර අධ්‍යක්ෂණය කළ “වාලම්පුරි” සිනමාපටය අසූව දශකයෙන් පසු ශ්‍රී ලාංකේය සිනමාවේ නව වාර්තා ගණනාවක් තැබීමට සමත් වී ඇත. තිරගත වූ දිනයේම වාර්තාගත රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ඉපයීමට සමත් වූ සිංහල සිනමාපටය ලෙස Box Office වාර්තා තැබීමත් සිංහල සිනමාපටයක් වාර්තා කළ හොඳම සතිඅන්ත වාර්තාගත මුදල රුපියල් මිලියන 20ක මුදලක් ඉපයීමටත් සමත් වී ඇත. එමෙන්ම දින දහයක් ඇතුළත රුපියල් ලක්ෂ 600ක් සිංහල සිනමාවේ ආදායම් උපයමින් වාර්තා තැබීමට මේ වනවිට සමත් වී ඇත. දිවයින පුරා සිනමා ශාලා 72 ක තිරගතවන “වාලම්පුරි” සිනමා පටය දර්ශන වාර 180ක් මේ වන විට දිනපතා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිරගත වන අතර අසූව දශකයෙන් පසු වැඩිම ජන ගඟක් ගැලූ යුගය ලෙස මෙය සටහන් වේ. වාලම්පුරි හෙවත් හීන හතහමාරක් අසංක දොඩන්තැන්න හා ප්‍රදීප් පෙරේරාගේ විධායක නිෂ්පාදනයකි.


‘මදර් ලංකා’ විශේෂ දර්ශනයක්

අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන ‘මදර් ලංකා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මවුවරුන්ගේ දිනය යෙදෙන එළඹෙන 11 වැනි දින පෙ.ව.10.00ට වැල්ලවත්ත සැවෝයි 3D සිනමා ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, මාදිනී මල්වත්තගේ, ධර්මප්‍රිය ඩයස්, බිමල් ජයකොඩි, කුසුම් පෙරේරා, ධනංජය සිරිවර්ධන, හර්ෂිකා රත්නායක, චතුරංග කොඩිතුවක්කු, හිරාන් යටෝවිට සමඟ නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.


‘ගමන නොනිමෙයි’ 12දා

වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් නිර්මාණය වූ Òගමන නොනිමෙයිÓ ඒකාංගික ටෙලිනාට්‍යය වෙසක් පුන් පොහෝදා (12 වෙනිදා) ටී. එන්. එල් සුප්‍රීම් ටීවී, පියෝ ටීවී සහ ඩයලොග් ටීවී ඔස්සේ ප. ව. 12.30 ට විකාශය වේ. ගාමිණී හේවාවිතාරණගේ අධ්‍යක්ෂණයක් වන මෙහි කුමාරී මුණසිංහ, නිමල් ජයසිංහ, නිල්මිණී වහින්ද්‍රාසිංහ, තාරක දිල්හානි, සුජීව කුමාර, දිල්හාරා ජයසිංහ, රශ්මිණ තරුමුතු, කවිනි වත්සලා සහ මිණිරුවන් ජයවර්ධන ආදීහු රංගනයෙන් දායක වෙති.

ගමන නොනිමෙයි  සහාය අධ්‍යක්ෂණය නොයෙල් ජයමහගෙන් වන අතර පිටපත නිල්මිණී වහින්ද්‍රාසිංහ ගෙනි. මෙම පෝදා ටෙලිනාට්‍ය නිෂ්පාදනය ආචාර්ය ජයන්ත රාජපක්ෂ විසිනි.


නිරිඇල්ලට ගෞරව සම්මාන

ප්‍රවීණ, සම්මානනීය වේදිකා, ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණවේදී ආචාර්ය පරාක්‍රම නිරිඇල්ලට පසුගිය දින සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආචාර්ය මඬුල්ල හා විශ්ව විද්‍යාල ප්‍රජාව විසින් විශේෂ ගෞරව සම්මානයක් පිරිනමනු ලැබීය. මෙයට සමගාමීව පරාක්‍රම නිරිඇල්ලයන්ට ඔහු විසින් සිදු කළ කලා මෙහෙවර උදෙසා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ද ගෞරව සම්මානයක් පිරිනමන ලදි.


THE JUDGMENT ළඟදීම

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන කළ නිර්මාණයක් ලෙසින් THE JUDGMENT ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිතය. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂණය හා සංස්කරණය ලක්ෂාන් පෙරේරාගෙන් වන අතර, කතාව, දෙබස් තිර රචනය සහ නිෂ්පාදනය හිරාන් ගමගේ විසිනි. මෙහි රූප රාමු නිර්මාණය කිරීම සඳහා Luma Dream Machine , Pollo A.I , Mini Max සහ Leonardo A.I. යන තාක්ෂණය මූලාශ්‍රයන් මෙන්ම, පසුබිම් සංගීතය නිර්මාණය කිරීම සහ තේමා ගීතය සැකසීම සඳහා Suna A.I. Music යන තාක්ෂණික මූලාශ්‍රය ද භාවිත කර ඇත . THE JUDGMENT මේ වනවිටත් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ කිහිපයක්ම නියෝජනය කරමින් සිටියි. මෙයට පාදකව ඇත්තේ, යුද වැදීමෙන්, අවි ආයුධ අත දැරීමෙන් හෝ කිසිවෙකුට කිසිම කලෙක කිසිම අයුරකින් සදාකාලික ජයග්‍රහණයක් හෝ සැනසීමක් අත්නොවේ යන්නයි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු


‘හෙළ නිළි පුරාවෘත්තය’ අදයි

හෙළ නිළි රැජන, ආචාර්ය, මාලිනී ෆොන්සේකාගේ කලා භූමිකාව පිළිබඳ සාකච්ඡා කෙරෙන ‘රැජිණ – හෙළ නිළි පුරාවෘත්තය’ අද ( 9) සවස 6ට කොළඹ විජේරාම මාවතේ D mediaහි පොප් corn මැදිරියේදී පැවැත්වේ. ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරිය සමඟ ප්‍රවීණ විචාරකයන් වන, විදර්ශන කන්නන්ගර, භූපති නලීන්, ප්‍රියන්ත කොඩිප්පිලි ආදීහු එදින අදහස් දක්වති.

නුවන් මහේෂ්


රුසියානු බැලේ ප්‍රසංගයක්

රුසියානු ක්ලැසිකල් බැලේ ප්‍රසංගය මේ මස 17 වැනිදා මාතර සණස රංග ශාලාවේදී සිසුන් හැත්තෑඅට දෙනෙක්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීන්, මාතර ශාන්තාව හා මරියා කන්‍යාරාමයේ විදුහල්පති සුසිමා ප්‍රනාන්දු, මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති පුණ්‍යා මඩුගලගේ යන මහත්මීන් මීට සහභාගිවීමට නියමිතයි.

සුදත් නිශාන්ත


චක්‍රායුධම් හෙටයි

මෙම වේදිකා නාට්‍යය අවිස්සාවේල්ල නගර ශාලාවේදී හෙට (10) සවස වේදිකාගතවේ. චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනී, තිළිණි ජයමාලි, හසිත් වෙත්තසිංහ සහ තුෂී සමරසේකර රංගනයෙන් දායක වෙති. චක්‍රායුධම් අධ්‍යක්ෂණය, පිටපත සහ රංග වින්‍යාසය සචිත්‍ර රාහුබද්ධ විසිනි. මෙය සාරංග මොරගොඩගේ නිෂ්පාදනයකි.

නිශ්ශංක විජේරත්න


EXO-අහසින් එහා

සජීව සංකල්ප අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන සිනමා පටය “EXO – අහසින් එහා” මුහුරත් උළෙල හෙට (10) උදේ 9.00 ට බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT