Home » අපේ නාට්‍ය කලාව සාම්ප්‍රදායික රංග කලාවේ සිරවෙලා

අපේ නාට්‍ය කලාව සාම්ප්‍රදායික රංග කලාවේ සිරවෙලා

by mahesh
May 9, 2025 1:00 am 0 comment

තෙල්මා දීපිකා මෙන්ඩිස් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය ප්‍රාසාංගික කලාවේදී විශේෂ (ගෞරව-දෙවැනිපෙළ ඉහළ) උපාධිධාරිනියකි. ඇය මහරගම තරුණ සේවා සභාවේ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාධාරිනියක ද වේ. එසේම ඈ ජාතික නැටුම් ගාන්ධර්ව හැදෑරූ ලක්නව් භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයේ ඉන්දියානු ශාස්ත්‍රීය කථක් නර්තන හා සංගීත ප්‍රථම පෙළ උපාධිධාරිනියක් ද වේ. නාට්‍ය රචිකාවක, අධ්‍යක්ෂිකාවක සහ නිෂ්පාදිකාවක ද වන තෙල්මා දීපිකා මෙන්ඩිස් මෙතෙක් තමා පැමිණි කලා ජීවිතයේ රංගනය, නර්තනය, ගායනය යන විවිධාංග හැකියාවන්වල අත්දැකීම් තුළින් නිර්මාණය කළ ‘Resurrection of කුවේණි’ වේදිකා නාට්‍ය මේ මස 22 වැනිදා 2.30 සහ 6.30 මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ. ඒ පිළිබඳ තෙල්මා දීපිකා මෙන්ඩිස් සමඟ කළ පිළිසඳරකින් සැකසූ ලිපියයි මේ.

කුවේණිය අපි මුලින්ම අඳුනගන්නේ, විජය කුවේනි සුරංගනා කතාවක් ලෙසින්. කුවේණි පිරිමියෙක් වෙනුවෙන් තමන්ගේම වර්ගයා පාවා දෙනවා, අවසානයේ දරුවන් දෙදෙනකුත් ලැබුණාට පසුව විජය කුමාරයා ඇයව එළවා දමනවා සහ වෙනත් කාන්තාවක් විවාහ කරගන්නවා. දරුවන් දෙදෙනා කැලෑවට ගියා. එතැන් සිට වැදි පරම්පරාව බිහිවුණා යැයි මේ කතාව ලියැවී තිබෙනවා. ඒක අපේ සිංහලයාගේ වංශ කතාව බවත් පිළිගැනෙනවා.  

හෙන්රි ජයසේන මහතාගේ කුවේණි නාට්‍යයේ එන කුවේණියගේ චරිතය මට රඟපාන්න ලැබුණා. ඒ චරිතය තුළදී ඇය මේතරම් වැරදි, අවලස්සන, ජාතිය පාවාදෙන, කැලයට පැන යන, චරිතයක් ද කියල කුකුසක් මගේ හිතේ පැළපදියම් වුණා. ඒවගේම මගේ අම්මා දිහා බැලුවොත් ඇය මොනම හේතුවක් නිසාවත් අපිවත් අරගෙන කැලයකට යයි ද, අඳුරට අරගෙන යයි ද, අම්මා ධෛර්වත් නේද වගේ ප්‍රශ්න මට ඇතිවුණා. ඒවගේම කුවේණිය අපිට පෙන්වන චරිතයට වඩා වෙනස් මහා කාන්තා චරිතයක් විය යුතුයි මට පැහැදිලි වුණා.

මගේ මාස්ටර් ඩිග්‍රිය සඳහා පර්යේෂණයේදී නැවතත් ‘කුවේණිය’ හමුවෙනවා. ඇය සොයා යන ගමනේදී කාලවර්ණය හෙවත් ‘කළු’ වර්ණ කුවේණිය පිළිබඳ තොරතුරු හමු වුණා. ඊළඟට ඇය යම් කුලයකට සම්බන්ධ කර සහ ඇයගේ නමේ ‘කු’ නමැති අපාය අක්ෂරයක් යොදමින් ඇයව පහත් කර සලකා තිබුණා. ඒත්, විජය රජු සමඟ එන කතාවේදී ඇය ‘රුවේණි’ ලෙස හඳුන්වනවා. ‘රුවේණි’ නමින් හඳුන්වන්නේ ඇය ලස්සන නිසාමත් නොවෙයි. ඇය බුද්ධිමත්, සත්‍යවාදී, එඩිතර, රණශූර කාන්තාවක් නිසයි. විජය රාජ කතාවේ එන කවිවලදී ඇය ඉතාම අලංකාර බලසම්පන්න ‘සිව පති’ හෙවත් පතිවත රකින කාන්තාවක් ලෙස හඳුන්වා තිබෙනවා.

‘කුවේණි’ නමින් කියැවෙන්නේ නිසරු, අවාසනාවන්ත, අඳුරු කාන්තාවක්. තවත් තැනකදි කුවේණි යනු එක කොණ්ඩයක් ගොතන කියන අරුතට සමාන කරනවා. මේ වගේ විවිධ නම්වලින් හඳුන්වලා තියෙන්නේ එකම කාන්තාවක්. ඇයගේ සත්‍ය නාමය මහාපාලියි. මහීපාල කුලයේ කාන්තාවක් නිසා එනමින් හඳුන්වා තිබෙනවා. අපේ මුල්ම පරම්පරාව ඇතිවන්නේ රාවණා පරපුරත් සමඟ සූර්ය වංශයෙන්. කුවේණියගේ මව ඒ අයගෙන් එන පාලි පරම්පරාවේ කෙනෙක්. ඔවුන් ධ්‍යානයෝගියි. බුද්ධිමත් සහ සටන් කලාව දන්නා සේනාධි නායිකාවන්. මහීපාලිත් ඒ පරම්පරාවෙන් එන කෙනෙක්මයි. විජය නමැති පරදේශිකයාට යටත්වන තැන සිට ඇයව ‘කුවේණි’ය ලෙස හඳුන්වනවා. කව්රාණපාලි, අවුරන්ලිය, කුවර්ණා, රුවේණි වගේ නම් කිහිපයකින්ම ඇයව හඳුන්වනවා.

ඒවගේ උසස් කාන්තාවක් මේ තරම් පහත් තත්ත්වයට ලා සලකන්නේ ඇයිද කියන කාරණය පිළිබඳ මට සොයා යන්නට අවශ්‍ය වුණා. මමත් කාන්තාවක් නිසාදෝ ඒ චරිතයට හරිම කැමැතියි. කුවේණිව සොයන්න, සත්‍ය හෙළිකරන්න යැයි නිතරම මගේ හිතට දැනුණා.

කුවේණි සිටි කාලයේදී ඔවුන්ට පාලි ආරාම තිබුණා. ඒවායේ භාවනාව, සටන් කලාව ඇතුළු බොහෝ දේවල් ඉගැන්වීම් කළා. අපේ ඉතිහාසයේ හරි ලස්සන අංගම්පොර සටන් කලාවක් තිබුණා. ඒවා විදෙස් ආක්‍රමණ හමුවේ රැකගැනීමේ චේතනාවෙන් නැටුම් කලාව තුළ සැඟවූවා. ඒවගේම වසර 2500කට වඩා එහා ගිය ඉතිහාසයක් අපට තිබුණා. ඒ ගැන ලියවුණු පොත්පත් විදෙස් ආක්‍රමණිකයන් පුලුස්සා දැමුවා. සමහර පොත්පත් වෙනත් රටවලට ගෙන ගියා. මට මෑතකදී ලංකාවත සූත්‍රය පොත හමුවුණා. මට ඒ පොත භික්ෂූන් වහන්සේ කෙනෙකු ලබාදුන්නා. ඒපොත චීනයේ තිබිල හමුවූවක්.

කුවේණිත් සමඟ අපේ ඉතිහාසය සඟවලා තිබෙනවා. කුවේණියට දරුවෝ සිටි බව කියනවා, දරුවන් දෙදෙනෙකු සිටියා කියනවා. තවත් තැනකදි වීරබාහු නමින් එක පුතෙක් සිටියා කියනවා. තවත් තැනෙකදි පුතුන් දෙදෙනකු සිටියා කියනවා. දරුවන් නැති වඳ ගැහැනියක් ලෙසත් හඳුන්වනවා.

මගේ නිර්මාණය කුවේණියගේ සත්‍ය ප්‍රත්‍යගණනය නැතිනම් උට්ටානය සිදුකරන නිර්මාණයක්. එහිදී නිර්මාණය පෝෂණය කිරීම සඳහා දරුවන්ද සිටිනවා. මම මේ නිර්මාණය තුළින් ගල්ගසා මරා දැමුවා යැයි සලකන ඒ සත්‍යවාදී ගැහැනියට නැවත ගලක් නොගහන ලෙස වේදිකාවට ගේනවා.

ඉතිහාස සටහන් පොත්පත්වලට වඩා කුවේණිය චරිතයේ සැඟවුණු සහ තවදුරටත් සෙවිය යුතු අඳුරේ සැඟවී තිබෙන දෙයක් තිබෙනවා. කුවේණිය සොයා යන ගමනේදී අපේ ඉතිහාස තොරතුරුත් සොයාගන්නට ලැබුණා.

අපේ ඉතිහාසය පමණක් නොවෙයි, අපේ වාසගම් පවා වෙනස් කරනු ලැබූ දේවල්. ඉරුගල් බණ්ඩාර වගේ නම් දැන් භාවිත කරන්නේ නැහැ. පර්යේෂණය සඳහා මම ඒ පළාත්වල ගියා සහ බොහෝ තොරතුරු අනාවරණය කර ගත්තා.

කුවේණිය රෙදි කපු කටින කළුවර්ණ කාන්තාවක් නොවෙයි. එදා රෙදි කර්මාන්තය තිබුණා. අපේ රටේ ඉහළින් පැවැතුණා. අපි සේද මාවතේ පිහිටි රටක් නිසා නැව්වලින් කාලාන්තරයක් අපේ රටට වෙළෙඳුන් ආවා. ඒ අතරේ රටින් පිටුවහල් කළ සොරාත් පැමිණියා සහ කුවේණිය ඔවුන් සමඟ සටන් කළා. ඒ සටනේදී කුවේණියට පසුබසින්නට සිදු වුණා.

මේ සත්‍යය තවත් අයට කීම සඳහා මම කලා නිර්මාණයක් කළා. ඒ නිර්මාණය ඔප්පු කළ හැකි සාක්ෂි තුළින් දිගහැරෙන්නක්. මගේ පර්යේෂණය තවමත් අවසන් නැති නිසා මේ නිර්මාණය ඉදිරියේදී තවදුරටත් වෙනස් විය හැකියි.

අපේ නාට්‍ය කලාව සාම්ප්‍රදායික රංග කලාවේ ක්‍රම තුළ සිරවෙලා තිබෙනවා. ඒත් මගේ නාට්‍ය සාමාන්‍ය නාට්‍ය කලාවක එකක් නොවෙයි. සමකාලීන රංග කලාව උපයෝගී කරගත් එකක්. ලෝක නාට්‍ය කලාව තුළ තිබෙන අලුත් රංගන සහ භාවාත්මක නර්තන, නවීන රංග උපක්‍රම ඔස්සේ කරන රූපණය, ශාරීරික ක්‍රියාකාරකම් යොදාගෙන, චලන, නර්තන විලාසය, රංගන වින්‍යාසය, ගායනය යොදාගෙන සිදුකළ එකක්.

අපේ රටේ නාට්‍යයක් නිර්මාණය කිරීමේදී මුහුණදීමට සිදුවන්නේ එසේ මෙසේ අභියෝගවලට නොවෙයි. අපිට අවශ්‍ය පිරිස සොයාගත්තත් ඔවුන් අපි සමඟ එකට රඳවගන්නත් හුඟක් අමාරුයි. රුපියල් ශත ඒකට ලොකු හේතුවක්. මේ රටේ කෙනෙකුට ජීවත් වන්න රැකියාවක් කළ යුතුමයි. ඒත්, ඒ සඳහා සියලු කැපකිරීම ද කළ යුතුයි. ඉතින් රැකියාවක් කරන ගමන් නාට්‍යයක රඟපාන්න බෑ. රඟපාන ගමන් රැකියාවක් කරගන්නත් බැහැ. මේ නිසා මගේ කණ්ඩායම හදාගන්න සහ ඒ පිරිස නාට්‍ය සඳහා පුහුණු කරගන්න හුඟක් අභියෝගවලට මුහුණදුන්නා. ඒත් සතුටට කාරණාව නම්, මා ළඟ අද ඉන්න කණ්ඩායම දැන් අවුරුද්දකට වැඩි කාලයක් එකටම ඉඳීමයි.

‘Resurrection of කුවේණි’ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය මා විසින් සිදු කළා. සහාය අධ්‍යක්ෂණය චිත්රීනා මෙන්ඩිස්, රංග වින්‍යාසය සහ ඇඳුම් නිර්මාණයේදී මමත් චිත්රීනා මෙන්ඩිසුත් එක්ව කළා. සංගීතය නිර්මාණය සංගීත් නිපුන් පමල්ක කරුණානායක, අංග රචනය චාමර අනුරුද්ධගෙනි.

මා ඇතුළුව රංගනයෙන් චිත්රීනා මෙන්ඩිස්, ආසිරි එදිරිසිංහ, ජයනාත් බණ්ඩාර, පද්මිණී ගමගේ, ජනක රාජපක්ෂ, සවන් කොඩිතුවක්කු, පුලතිසි වෙදගෙදර, මහේල චාමර, ඔසිඳු ජයවර්ධන, ඉන්ද්‍රජිත් නන්දිවර්ධන, මිහිල් ගීකියනගේ, හසරංග පෙරේරා, ඩිලන්ත මධුෂාන්, උදුල සිංහලගේ, යොහාන් ජයතිලක, කවිඳු ගයංග, සංජීව මේනක, දුල්මි මුරමුදලි, ලෝනිඳු දිනුජිත, දුලාරි මධුභාෂිනී, දෙව්නි කරුණාචන්ද්‍ර, ඔවන්‍යා හේමරත්න, බිනුදි දුලන්‍යා, මදුභාෂිනී කරුණාරත්න, පුර්ණා සේමිණි, සියරා වීරකෝන්, සෙනුදි දසන්‍යා, ජනාධි අබේරත්න රංගනයෙන් දායක ‍ෙවනවා.

ඉරෝෂා දීපානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT