දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ, 2025 ජූනි මස 24 වැනි දින සවස 7 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතියි.
මෙවර සරසවිය සම්මාන උලෙළ සඳහා සලකා බලනුයේ 2024 වර්ෂයේ ජනවාරි 01දා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙරට තිරගත වුණු ශ්‍රී ලාංකේය චිත්‍රපටයි. මෙවර සම්මාන උලෙළ සඳහා ශ්‍රී ලාංකේය දෙමළ භාෂිත චිත්‍රපට ද සලකා බැලෙනු ඇත.
ඒ අනුව 2024 වර්ෂයේ සිනමාපට 38ක් මෙරට තිරගත වී ඇති අතර, ඉන් චිත්‍රපට ද්විත්වයක් දෙමළ භාෂිත චිත්‍රපට වේ. මෙම චිත්‍රපට 38 අතරින් චිත්‍රපට 37ක් තරගකාරී අංශයේ සම්මාන 32ක් සඳහා තරග වදිනු ඇත. එම සම්මාන පිරිනැමෙනුයේ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟිනි. මෙවර සරසවිය ජනප්‍රිය නළුවා / නිළිය සහ ජනප්‍රිය චිත්‍රපට ගීතය තෝරාගනු ලබනුයේ පාඨක හා ග්‍රාහක ඡන්දයෙනි. ජනප්‍රිය චිත්‍රපටය උදෙසා වන සම්මානය තෝරා ගැනෙනුයේ අදාළ වර්ෂයේ ආදායම් වාර්තා අනුවය.
මෙම චිත්‍රපට 38 අතරට එක්වෙන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය ඉන්දු / ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වන අතර, එය මෙරට තිරගත වුවද , ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ලෙස නොසැලකෙන බැවින් මෙම උලෙළට එය ඉදිරිපත් නොකරන බව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සරසවියට දන්වා ඇත.
සිනමාව උදෙසා සිය දිවියම කැපකරමින් කළ මෙහෙවර වෙනුවෙන් පිරිනමනු ලබන, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන ද්විත්වයක් ද පිරිනමනු ලැබේ. සිනමා සාහිත්‍ය මෙහෙවර උදෙසා පිරිනමනු ලබන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය ද මෙවර පිරිනමනු ලැබේ.
සිනමා කර්මාන්තයේ ප්රගමනය උදෙසා ‘වසරේ ජන ආකර්ෂණීය සිනමාපටය’ ලෙසින් සම්මානයක් ද පිරිනමනු ලබන අතර, එය විනිශ්චය මණ්ඩලය විසින් තෝරා දෙනු ලැබේ.
මෙවර සරසවිය සම්මාන උලෙළ සඳහා නව සම්මාන 8ක් හඳුන්වා දෙනු ලැබේ. ඒ ජනප්‍රිය චිත්‍රපට ගීතය, හොඳම දෙමළ භාෂිත චිත්‍රපටය, හොඳම හාස්‍යෝත්පාදක නළුවා, හොඳම ප්‍රතිවීර නළුවා, හොඳම රංග වින්‍යාසය, හොඳම වස්ත්රාභරණ නිර්මාණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ සහාය අධ්‍යක්ෂට පිරිනැමෙන ඇගයුම් සම්මානය ඒ අතර වේ. සහාය අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙතෙක් දේශීයව හෝ විදේශීයව කිසිදු සම්මාන උලෙළකින් සම්මානයක් පිරිනැමෙනු දැකිය නොහැකිය. මෙහිදී ජනප්‍රිය චිත්‍රපට ගීතය තෝරාගනු ලබන්නේ පාඨක හා ග්‍රාහක ඡන්දයෙනි.
සරසවිය සිනමා සම්මාන උලෙළ ආරම්භ වනුයේ 1964 දීය. ලාංකේය සිනමාවේ සම්භාවනීයම සිනමා උලෙළක් ලෙසින්, එය මෙරට සිනමා ඉතිහාසය පුරා හිමිකරගෙන ඇති සුවිශේෂී අනන්‍යතාව මෙතෙක් මෙරට පහල වූ කිසිදු සිනමා සම්මාන උලෙළකට හිමිකරගත නොහැකි වූ ගෞරවනීය තත්වයකි. සරසවිය සිනමා උළෙලින් පසු ආරම්භ වූ අනෙකුත් බොහෝ සිනමා සම්මාන උලෙළ ගුරුකොට ගත්තේ සරසවිය බව අවිවාදිතය. 2025 වසරේදී අප පවත්වනු ලබන්නේ 36 වැනි සරසවිය සම්මාන උලෙළ වන අතර, මේ වනවිට සරසවිය පුවත්පතට සහ සරසවිය සම්මාන උලෙළට 60 වසරක් සපිරී ඇත.
මුල්ම සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයයි. ඉන්මාස කිහිපයකට පසු ඉන්දියානු නවදිල්ලි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් ‘ගම්පෙරළිය’ රණමයුර සම්මානය දිනා ගත්තේය. සරසවිය සම්මානයේ ඇති ප්‍රමිතිගතභාවය පිළිබඳ සාක්ෂියකට එය හැර තවත් නම් කවර සාක්ෂියක් ද? වර්තමානය වනවිට ‘ගම්පෙරළිය’ යනු ලෝක පූජිත සිනමා කෘතීන් අතරෙහි ලා සලකන්නකි.
එසේම 2018 වර්ෂයේ සරසවිය සම්මාන උලෙළේදී මතු බලාපොරොත්තු ඇති චිත්‍රපට අධ්යක්ෂවරයාට හිමි සම්මානය දිනා ගත්තේ විසාකේස චන්ද්රසේකරම්ය. ඒ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූ ‘සයපෙති කුසුම’ චිත්‍රපටය වෙනුවෙනි. වර්තමානයේ ඔහුගේ සිනමා නිර්මාණයන් වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන පවා හිමිවෙමින් පවතියි. එසේනම් එය ද සරසවිය සම්මානයේ ප්‍රමිතිගත බවට එය ද තවත් සාක්ෂියකි.
එතැන් සිට වර්තමානය දක්වා ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ට සිනමා කෘති මෙන්ම, සිනමාවේදීන්, කාර්මික ශිල්පීන්, නළු නිළියන් බොහෝ පිරිසක් සරසවිය සම්මානයෙන් පිදුම් ලබමින් සිය නිර්මාණ දිවිය ඔපවත් කර ගත් බව පැහැදිලිය.
සිනමා උලෙළක් වාර්ෂිකව පැවැත්වීම අතිශය දුෂ්කර කටයුත්තකි. සරසවිය සිනමා සම්මාන උලෙළ ද විවිධ අවස්ථාවන්වලදී එවන් දුෂ්කර අවස්ථාවන්වලට මුහුණ දෙමින් මේ දක්වා පැමිණියේය. යම් යම් වසරවලදී සම්මාන උලෙළ නොපවත්වා සිටින්නට සිදුවූ අවස්ථා ද ඉතිහාසයේ විය. වසර හයක නිහැඬියාවකින් පසු 2024 වසරේදී අපි සම්මාන උලෙළ යළි ආරම්භ කළෙමු.
මෙවර සරසවිය සම්මාන උලෙළ සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයනුයේ ‘කැලින් ස්වර්ණ අනුග්‍රාහක, ගෝල්ඩ් ස්පොන්සර් හොරණ වාසනා බේකස් සත්කාරක අනුග්‍රහය (හොස්බිටැලිටි පාට්නර්) වෙතිනි.
කැලින් – සරසවිය සම්මාන උළෙලේ මාධ්‍ය දැනුම්වත් කිරිමේ උත්කර්ෂවත් මොහොත වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයනුයේ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් වෙතිනි.
කැලින් – සරසවිය සිනමා සම්මාන උලෙළට සමගාමීව මෙවර දින තුනක සිනමා දැක්මක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත. අතීතයේ සිටම සරසවිය සිනමා සතියට හිමිවූයේ නොමඳ ප්‍රේක්ෂක ප්රතිචාරයකි. එහෙත් පැවති විවිධ බාධක හේතුවෙන් පසුගිය වසරේ මෙම සරසවිය සිනමා සතිය පැවැත්වූයේ නැත.
මෙවර එය නව මුහුණුවරකින් නැවත ආරම්භ කිරීමට වර්තමාන ලේක්හවුස් පාලනාධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව එළඹෙන ජූනි මස 18, 19 සහ 20 යන දිනයන්හි මෙම සිනමා දැක්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සවස 5.00ට පැවැත්වීමට නියමිතය. ඒ සඳහා චිත්‍රපට තෝරා ගැනෙනුයේ වසරේ වැඩිම ආදායම් වාර්තා ලැබූ චිත්‍රපට අතරිනි.
ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබා දුන් වාර්ෂික ආදායම් වාර්තා අනුව වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට ත්‍රිත්වය වනුයේ පිළිවෙළින් ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සිංහබාහු’ (274,940,64500), වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ ‘විසල් ආදරේ (138,718,067,25) සහ ඉන්දීය අධ්යක්ෂවරයකු වන සෆෙව් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩොනල්ඩ් ජයන්ත විසින් සම අධ්‍යක්ෂණය කරන ලද ‘සිහිනයකි ආදරේ’ (117,315,424,00) යන චිත්‍රපට ත්‍රිත්වයය.
එම චිත්‍රපටවල සියලු නළු නිළියන්, කාර්මික ශිල්පීන් මේ සඳහා සහභාගි වන අතර, සුවිශේෂි ආරාධිත අමුත්තන් සමඟ උත්සවශ්‍රීයෙන් සිනමා රසික රසිකාවන්ට ද මෙම චිත්‍රපට නොමිලයේ නැරඹීමට අවස්ථාව සැලසේ.
ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ඓතිහාසික පත්තර මහගෙදරින් පිදෙන සරසවිය සිනමා පුවත්පත හා අත්වැල් බැඳ ගනිමින් ඩෙල්මා ලංකා පෞද්ගලික සමාගම සහ වාසනා බේකර්ස් 36 වැනි සරසවිය සම්මාන උලෙළ ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය වෙනුවෙන් හා දේශීය සිනමා ශිල්පීන්ට අභිමන් පුදමින් ජූනි 24 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සිනමා ශාලාවේදී සවස 6.00ට දිගහැරෙන බව මෙසේ අභිමානයෙන් ලියා තබන්නෙමු.
සරසවිය සම්මාන උලෙළේ පිරිනැමෙන සම්මාන
විනිශ්චය මණ්ඩලය තේරීම්
හොඳම චිත්‍රපටය
හොඳම අධ්‍යක්ෂණය
හොඳම නළුවා
හොඳම නිළිය
හොඳම සහාය නළුවා
හොඳම සහාය නිළිය
හොඳම තිර රචනය
හොඳම සංගීත අධ්‍යක්ෂණය
හොඳම ගීත රචනය
හොඳම ගායකයා
හොඳම ගායිකාව
හොඳම කලා අධ්‍යක්ෂණය
හොඳම වේශ නිරූපණය
හොඳම ශබ්ද පරිපාලනය
හොඳම සංස්කරණය
හොඳම කැමරාකරණය
හොඳම දෙමළ භාෂිය චිත්‍රපටය
හොඳම හාස්‍යෝත්පාදක නළුවා
හොඳම ප්‍රතිවීර නළුවා
හොඳම රංග වින්‍යාසය
හොඳම වස්ත්රාභරණ නිර්මාණය
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග
සහාය අධ්‍යක්ෂට පිරිනැමෙන ඇගයුම් සම්මානය
කුසලතා සම්මාන 07
වසරේ ජන ආකර්ෂණීය චිත්‍රපටය
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන- 02
රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය – 01
පාඨක සහ ග්‍රාහක ඡන්දයෙන් පිරිනැමෙන සම්මාන
වසරේ ජනප්‍රිය නළුවා
වසරේ ජනප්‍රිය නිළිය
වසරේ ජනප්‍රිය චිත්‍රපට ගීතය
චිත්‍රපට ආදායම් වාර්තා අනුව පිරිනැමෙන සම්මාන
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
2024 වසරේ තිරගත වූ
චිත්‍රපට නාමාවලිය
1. විලන්
2. වීර්යා
3.සිහිනයකි ආදරේ
4. 1970 ලව් ස්ටෝරි
5. මින්නු
6. වර්ණ
7. Dak Dik Dos
8. බඹර වසන්තේ
9. රිදී සීනු
10. සිංහබාහු
11. විසල් ආදරේ
12. My Red Comrade
13. O Ozhi
14. සිහින සමීකරණ
15. ජොබ්ලස් ඩග්ලස්
16. සුදු අප්පච්චි
17. මල්විල ෆාම්
18. පැරඩයිස්
19. සීරුවෙන්
20. මන්දාරා
21. කම්බිලි
22. හොරා අංකල්
23. දූස්රා
24. සූරයා වීරයා
25. පුත්තු සහ පියවරු
26. සිහින නෙළුම් මල්
27. ඉරානි
28. ගිනි අවි සහ ගිනි කෙළි – 2
29. පාස්පෝර්ට්
30. ශ්‍රී සිද්ධා
31. බෆලෝ ට්‍රැවල්ස්
32. රොකට්
33. හද ගැස්ම
34. විශ්ම
35. පිරිමි ආදරයක්
36. සෝලෝ ටවුන්
37. බුද්ධ මාතා
38. ගුරු ගීතය