Home » ලෝකය ලස්සන කළ අයගේ අසම්මත ප්‍රදර්ශනය

ලෝකය ලස්සන කළ අයගේ අසම්මත ප්‍රදර්ශනය

by mahesh
May 9, 2025 1:00 am 0 comment

බයිබලයේ සහ සමාජයීයව අසම්මත යැයි පිළිගැනෙන චරිත 25කගේ මූර්ති නිර්මාණයන් සහ චිත්‍ර 10ක් එක්කර මූර්ති සහ චිත්‍ර ප්‍රදර්ශනයක් ගම්පහ රතුකුරුස දේවස්ථානයේ සමන්ත තුෂාර පියතුමා විසින් පවත්වයි. මේ ප්‍රදර්ශනය නම් කර තිබෙන්නේ ‘අසම්මත’ යනුවෙනි. මෙවැනි දෘශ්‍ය නිර්මාණ කලාවට කතෝලික පූජකවරයෙකු දායක වීම සුවිශේෂී කාරණයකි. ‘අසම්මත’ ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩ් කලාභවනේ හැරල්ඩ් පීරිස් ශ්‍රවණාගාරයේදී මැයි මස 17 සිට 19 වන දක්වා ප්‍රදර්ශනය කෙරේ. මේ ලිපිය ඒ වෙනුවෙනි.

අද අපි භුක්ති විඳින සාමය, ප්‍රජාතන්ත්‍රවදය, මානව හිමිකම්, මිනිස් අයිතිවාසිකම් යන බොහෝ දේවල් එදා සිටි ශ්‍රේෂ්ඨ මිනිසුන් දුක් මහන්සියෙන් ලේ කඳුළු වගුරුවා ලබාදුන් දේවල්. ඒ සියල්ලම මිනිසුන් කැපවීම් කරලා මිනිසුන් වෙනුවෙන් ඉතිරි කරපු දේවල්. මේ ලෝකයට ආලෝකය ගෙනැත්, ලෝකය ලස්සන කළ අයගේ කතාව ‘අසම්මතය’යයි. මේ විශිෂ්ට චරිතවල නිතැතින්ම තිබුණේ ‘අසම්මත’ බවක්. ඔවුන් අසම්මත වූ නිසා ලෝකය වෙනස් කළා. බයිබලයේ සහ ජේසුස් වහන්සේගේ කාලයට පසුවත් ඒ වගේ චරිත අපිට නැවත හමුවෙනවා. මහත්මා ගාන්ධි, චේගුවෙරා, මාටින් ලූතර් කින්ග් වැනි සෑම චරිතයක්ම එදා අසම්මත වූ චරිතයි.

ඒ චරිත විවිධ අයුරින් කලාව තුළ ලෝකයට ආවර්ජනය කළ හැකියි. ඒ චරිත කිසි දිනෙක මියැදෙන්නේ නැහැ. ඒ වගේම ඒ චරිත ආදර්ශය, ඔවුන්ගේ අභිමානවත් ක්‍රියාකාරකම් වර්තමාන සමාජයටත් නැඟී සිටින්නට උදව් වෙනවා. මා මූර්ති සහ චිත්‍ර කලාවෙන් කළ වෑයමත් එයයි. ඒ අරමුණින් ප්‍රදර්ශනයක් සංවිධාන කළා. ඒ වගේම මගේ ශිෂ්‍ය පරම්පරාවට තවත් අද්දැකීමක් දීමට අවස්ථාවක් කර ගත්තා.

කතෝලික සභාවේ පැවිදි වූ පසුව දර්ශනවාදය සහ දේව ධර්මය යන උපාධි දෙක කළ යුතුයි. එය අවසන් කළ පසුව පියතුමා පදවිය ලැබෙනවා. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා වෙනත් රටකට යාමට අවස්ථාව ලැබෙනවා. එහිදී දේව ධර්මය, දර්ශනවාදය වැනි විෂයයක් තෝරාගත හැකියි. ඒත්, මා තෝරාගත්තේ දෘශ්‍ය කලා නිර්මාණකරණයයි. අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මගේ කැමැත්ත පිළිබඳ බොහොම සතුටට පත්වෙලා, වැඩිදුර අධ්‍යාපනය සඳහා මාව ඉතාලියට පිටත් කළා.

ඒ අනුව මම ඉතාලියේ ටොරන්ස්වල මයිකල් ආන්ජලෝ විශ්වවිද්‍යාලයේ මූර්ති පිළිබඳ මාස්ටර් උපාධියක් කළා. ශ්‍රී ලංකාවට ආවට පසුව මගේ දැනුම තවත් අයට දීමේ බලාපොරොත්තුව ඇතිව 2015දී මීගමුව මර්ස් පාසල ආරම්භ කළා. මුදල් හදල් හොඳට තියෙන දරුවන් මේ වගේ කලා විෂයන්වලට තිබෙන උනන්දුව අඩු බව මට චිත්‍ර මූර්ති ඉගැන්වීම්වලදී ‌තේරුම් ගියා. ඒ වගේම මගේ පාසලට ආපු බොහෝ දරුවන්ට පාඨමාලාව සම්පූර්ණ කරගන්න අවශ්‍ය මුදල් හදල් නැති බවත් පැහැදිලි වුණා.

මේ නිසා මම ‘ෆාදර් සමන්තස් වර්ක්ෂොප්’ ලෙස මූර්ති නිර්මාණයන් පුහුණුව සහ අලෙවි කරන වැඩබිම ආරම්භ කළා. මේ වර්ක්ෂොප් මඟින් දරුවන්ට මූර්ති ශිල්පය නොමිලේ හැදෑරීමටත් මාසිකව යම් වේතනයක් ලැබීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ මේ නිර්මාණ කතෝලික දේවස්ථාන සහ හෝටලවලට ඇණවුම් අනුව අලෙවි කරනු ලබනවා. මේ පාසල ආරම්භ කරලා වසර 10ක් සහ මගේ පැවිදි ජීවිතයට වසර 25ක් පිරීම නිමිති කරගෙන මම ‘අසම්මත’ නිර්මාණ ප්‍රදර්ශනය පවත්වන්න කල්පනා කළා.

‘අසම්මතය’ යන තේමාව මා මුල් කර ගත්තේ බයිබලීය පදනමකින්. පරම්පරාවක් සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ පියාගෙන්. සීයා, මුත්තා, කිරිකිත්තා වගේ පිළිවෙළටයි. ඒත් ජේසුස් වහන්සේගේ පරම්පරාව කාන්තා පරම්පරාවක් ලෙස දක්වා තිබෙනවා. ජේසුස් මවුතුමිය වන මරියා මවුතුමියට පෙර පරම්පරාවේ සතරදෙනෙකු සිටිනවා. මරිය මවුතුමිය පස්වැනියායි. ඒ පාර්ශ්වයේ කාන්තා චරිත ගතහොත් ඒවා අසම්මත චරිතයි. එක් චරිතයක් ගණිකාවක් කියලත් බයිබලයේ සඳහන් වෙනවා.

ඒ වගේම ඊශ්‍රායලයේ සලමන් රජුගේ මව, ඔහුගේ පියාගේ අනියම් බිරියක්. ඒත් ඒ අනියම් බිරියගේ දරුවාට රජකම ලැබෙනවා. සලමන් රජු ඊශ්‍රායලයේ සිටි බුද්ධිමත් රජ කෙනෙක්. ඔහු නඩු විසඳුව ආකාරය ගැන කියන හුනුවටයේ කතාව ඊට හොඳ උදාහරණයක්.

අපි අසම්මතයි කියලා වෙන් කරන දේවල් දෙවියන් වහන්සේ වෙනත් විදියට භාවිත කළා. අපි මිනිසුන් පිළිබඳ ඉක්මන් තීරණවලට එනවා සහ ඔවුන්ව හොඳයි නරකයි ආදී ලෙස වෙන් කරනවා. ඒත් දෙවියන් වහන්සේ එහෙම නැහැ, වෙනස් විදියට මිනිසුන් දෙස බලනවා.

පේදුරුතුමා බයිබලයේ එන තවත් සුවිශේෂී චරිතයක්. පේදුරු කියන්නේ ධීවරයෙක්. එතුමන් මිනිසුන් වෙනුවෙන් සහ කිතුනු දහම වෙනුවෙන් විශාල සේවයක් කළා. අද පාප් වහන්සේගේ සේවය එදා සිදුකළේ පේදුරුතුමයි.

උදාහරණයක් ලෙස මහත්මා ගාන්ධිට නීතිඥයකු ලෙස එංගලන්තයේ හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාව තිබුණා. ඒත් එතුමා සියල්ල අතහැර කළු කබාය පවා ගලවා වේට්ටිය ඇඳගෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළා.

බොබ්මාලෙ ලෝකයේ ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණේ ගංජා සුරුට්ටුවක් බොන ගායකයකු ලෙසයි. ඒත් ඔහු ගීත ගායනා කළේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මිනිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් ගැන ඔහු සංගීතය මාධ්‍යයෙන් කතා කළා.

මම මූර්ති කළ තවත් චරිතයක් චාලි චැප්ලින්, ඔහු මිනිසුන් අතර ජනප්‍රියව සිටින්නේ විහිළුකාරයෙක් ලෙසයි. ඒත් චාලි චැප්ලින් ඔහුගේ නිර්මාණවලින් සමාජය විනිවිද දුටුවා. කාර්මික විප්ලවයත් සමඟ ආපු යන්ත්‍ර උපකරණ සමඟ මිනිසා කොයිතරම් යාන්ත්‍රිකකරණය වෙලා දැයි ඔහුගේ නිර්මාණවලින් පෙන්වා දුන්නා.

මේ වගේ ලෝකය වෙනස් කළ එම චරිත පිටුපස කැපකිරීම් තිබුණා වගේම ඔවුන් හෘද සාක්ෂියට එකඟව වැඩ කළා. එවැනි චරිත 25ක් මගේ මූර්ති ප්‍රදර්ශනයේ තිබෙනවා. මරියා මවුතුමිය, පේදුරුතුමා, ඉන්දියාවේ මහත්මා ගාන්ධි, චාලි චැප්ලින්, බොබ්මාලි, මාටින් ලූතර් කින්ග් ආදීන්ගේ මූර්ති 25ක් සහ චිත්‍ර 10ක් ඉදිරිපත් කරන්නට නියමිතයි.

මැයි මස 17වැනිදා සවස 5.00ට අතිඋතුම් මැල්කම් කාදිනල් පියතුමාගේ සහ සංස්කෘතික ඇමැති හිනිදුම සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT