ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ මිළඟ පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පෙරේදා (7) වතිකානයේදී ආරම්භ වූ කාදිනල්වරු අතර ඡන්ද විමසීමේ දෙවැනි දිනයේ උදෑසන ඡන්ද විමසීමේ අවස්ථාව නිමාවනවිටත් නව පාප් වහන්සේ තෝරාගැනීමට නොහැකි වු බව වතිකාන නිව්ස් පුවත් සේවය වාර්තා කළේය. ඊයේ දෙවැනි දිනයටත් ඡන්ද විමසීම පැවත්වෙන වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ වහලයේ සවි කර ඇති සම්ප්‍රදායික චිමිනියෙන් කළු දුමාරය පිට වූ බව වතිකාන නිව්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
එම චිමිනිය සවි කරනු ලබන්නේ අවම වශයෙන් කාදිනල්වරු 89 දෙනකු මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා පූර්ණ එකඟතාවට පත්වී තිබේද යන්න සංඥා කිරිම සඳහා වන අතර, ඔවුන් එවැනි එකඟතාවකට නොපැමිණියේ නම් එම චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් කරන බවත්, නව පාප් වහන්සේ තෝරාපත් කරගත් බව බැතිමතුන්ට දැනුම් දෙනු ලබන්නේ සුදු දුමාරය නිකුත් කිරීමෙන් බවත් වාර්තා වේ.
උදෑසන කාලයේ දෙවතාවක් සහ හවස් කාලයේ දෙවතාවක් බැගින් දිනකට සිව්වතාවක් ඡන්ද විමසීම පැවැත්වෙන අතර, දෙවැනි දිනයේ පස්වරු ඡන්ද විමසීම ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00ට පැවැත්වීමට නියමිතව තිබිණි. මෙවර පැවැත්වෙන 267 වැනි පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී නව පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට ලොව පුරා කාදිනල්වරු 252 දෙනකු අතරින් 133 දෙනකු හිමිකම් කියන බවත්, අවුරුදු 80න් ඉහළ වයස් කාණ්ඩයේ පසුවන කාදිනල්වරුට මේ සඳහා අවස්ථාව නොලැබෙන බවත් වාර්තා වේ. නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම අවසන් වනතුරු වතිකානයේ සියලු අන්තර්ජාල සබඳතා අත්හිටුවා ඇති අතර, කිසිදු බාහිර බලපෑමකින් තොරව ඡන්ද විමසීම පැවැත්වීමට වතිකානය බැඳී සිටින බවත් වාර්තා වේ. කාදිනල්වරුට පමණක් නොව සිස්ටීන් දේවස්ථානයේ වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට ද එම තහනම අදාළ බව ද වාර්තා වේ.