Home » ඉන්දියාවෙන් පාකිස්තානයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ඉන්දියාවෙන් පාකිස්තානයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ලාහෝර් නුවර පිපිරීම් තුනක්

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ඩ්‍රෝන 25ක් බිම හෙළූ බව පාකිස්තානය කියයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර න්‍යෂ්ටික යුද්ධයක අවදානම ඉහළ දමමින් නැඟෙනහිර පාකිස්තානයේ ලාහෝර් නුවර විශාල පිපිරීම් තුනක් සිදුවී ඇති බව පාකිස්තාන් ටුඩේ පුවත් සේවය වාර්තා කළේය. ඊයේ පෙරවරු 6.55ට පමණ එම පිපිරීම් සිදුවී ඇත්තේ ලාහෝර් නුවර ගෝපාල් නගර් ප්‍රදේශයේ පිහිටි වෝල්ටන් මාර්ගයේදී බවත්, එය පාකිස්තාන ගුවන් ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කර ඇති හමුදා සංකීර්ණයකට එල්ල වූ ඉන්දීය ඩ්‍රෝන ප්‍රහාරයක් බවත් පාකිස්තාන් ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඩ්‍රෝන ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි ද, ගුවන් ආරක්ෂණ පද්ධතිය අසළ නවතා තිබූ පාකිස්තාන හමුදාවට අයත් රථයක් විනාශ වී ඇතැයිද පාකිස්තාන් ටුඩේ පුවත් සේවය සඳහන් කළේය. පිපිරීමත් සමඟ ගෝපාල් නගර්, නසීරාබාද් සහ වෝල්ටන් මාර්ගයේ ගුවන්තොටුපොළ අවට ඉහළ අහසේ විශාල දුමාරයක් පැතිරී ගිය බවද වාර්තා වේ.

මේ අතර නැඟෙනහිර සහ බටහිර ඉන්දියාවේ හමුදා ඉලක්ක වෙත ඩ්‍රෝන හා මිසයිල භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල කිරිමට පාකිස්තාන හමුදාව උත්සාහ කිරීම මත එරට ස්ථාන කිහිපයකට ඉන්දීය හමුදාවෙන් ප්‍රහාර එල්ල කළ බව ඉන්දීය මාධ්‍ය තොරතුරු කාර්යාංශය නිවේදනය කළ බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. ලාහෝර් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ගුවන් ආරක්ෂණ පද්ධති සංකීර්ණය විනාශ වූ බවට තොරතුරු වාර්තාවන බව ද එම නිවේදනයේ සඳහන් වී තිබේ.

ඉන්දියාවෙන් පාකිස්තානයේ නගර රැසකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බවත්, ලාහෝර්, ගුජරන්වාලා, රාවල්පිණ්ඩි, කරච්චි ඇතුළු විවිධ ස්ථාන රැසකදී ඉන්දීය ඩ්‍රෝන 25ක් විනාශ කිරීමට පාකිස්තාන හමුදාව සමත්වූ බවත් පාකිස්තානයේ අන්තර් සේවා මහජන සබදතා ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් යුද හමුදා ලුතිනන් ජෙනරාල් අහමඩ් ශෙරීෆ් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව පාකිස්තාන ඔබ්සර්වර් පුවත් සේවය වාර්තා කළේය.

කෙසේ වුවද, එක් ඩ්‍රෝනයක් ලාහෝර් නුවර හමුදා ඉලක්කයක් වෙත එල්ලවූ බවත්, සෙබළුන් සිව්දෙනකු තුවාල ලැබුවේ එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් බවත් ලුතිනන් ජෙනරාල් අහමඩ් ශෙරිෆ් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පාකිස්තාන ඔබ්සර්වර් පුවත් සේවය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT