Home » ලෝක බැංකු සභාපති ජනපති හමුවෙයි

ලෝක බැංකු සභාපති ජනපති හමුවෙයි

by mahesh
May 9, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහත්වරුන් අතර හමුවක් පෙරේදා (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීන ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු, නැඟෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ් (Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) මහත්වරු සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT