Home » කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ රහස්‍යභාවයේ ප්‍රතිඥාව දෙති

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ රහස්‍යභාවයේ ප්‍රතිඥාව දෙති

පළමු වටයේදී පාප්වරයකු තෝරාගෙන නෑ

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

පාප්වරණයට (The Conclave) පෙර සිස්ටයින් දේවස්ථානයේදී කොළඹ පදවි අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ තම රහස්‍යභාවයේ ප්‍රතිඥාව ලබා දුන්හ.

බදාදා දින දේශීය වේලාවෙන් රාත්‍රී 9ට සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුමාරයක් නැඟුණු අතර, එමඟින් කතෝලික කාදිනල්වරු පාප්තුමාගේ සම්මේලනයේ පළමු වටයේ ඡන්ද විමසීමේදී නව පාප්වරයකු තෝරා පත්කර ගැනීමට අපොහොසත් වී ඇති බව සනාථ විය.

දොරවල් වසා දමා දේවස්ථානයේ රැස්වන කාදිනල්වරු 133 දෙනා ඉදිරි දිනවලදී සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇත.

සිස්ටයින් දේවස්ථානයට ගාම්භීර පෙරහැරකින් පසුව, සෑම කාදිනල්වරයෙක්ම දේශීය වේලාවෙන් සවස 5:45ට පමණ පළමු වටයේ ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර රහස්‍යභාවය පිළිබඳ දිවුරුම් දුන්හ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා පත්කර ගැනීම සඳහා සියවස් ගණනාවක් පැරණි රහසිගත ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලබන රහස් සභාවට සහභාගි වීමට ලොව පුරා සිටින කාදිනල්වරු කඩිනමින් වතිකානයට රැස් වූහ.

වර්තමානයේ කාදිනල්වරුන්ගේ සංසදය කාදිනල්වරුන් 252 දෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන්ගෙන් 135 දෙනකු වයස අවුරුදු 80ට අඩු බැවින් නව පාප් වහන්සේ සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත.

කතෝලික පල්ලියේ ඉතිහාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසේ සිටින විශාලතම කාදිනල්වරුන් සංඛ්‍යාව මෙයයි. රහස් සභාව අතරතුර, කාදිනල්වරුන් බාහිර ලෝකයෙන් වෙන් කරනු ලබන අතර දුරකතන, ඉන්ටර්නෙට් සහ පුවත්පත් වෙත ප්‍රවේශය අවහිර කරනු ලැබේ.

ඔවුහු වතිකානයේ මහල් පහකින් යුත් විවේකාගාරයක් වන කාසා සන්තා මාර්තාහි නවාතැන්ගෙන, සෑම දිනකම රහසිගතව ඡන්දය ප්‍රකාශ කරන සිස්ටීන් දේවස්ථානයට ඇවිද යති.

සෑම කාදිනල්වරයකුම තම තේරීම ඡන්ද පත්‍රිකාවක ලියා එය විශාල රිදී සහ රන් ආලේපිත බඳුනක බහාලයි. තෝරාගනු ලබන්නේ, තුනෙන් දෙකක බහුතර කැමැත්තක් ලැබූ කාදිනල්වරයෙකි. මේ සියල්ල සිදුවෙමින් පවතින අතරතුර, කතෝලික බැතිමත්හු අසල පිහිටි සාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින අතර, සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් සංකේතාත්මක දුම නැඟී එනතෙක් බලා සිටිති. කළු දුමෙන් අදහස් කරන්නේ තීරණයක් නොමැති බවයි. සුදු දුමෙන් අදහස් කරන්නේ නව පාප්වරයකු තෝරාගෙන ඇති බවයි. කාදිනල් සංසදය ඉදිරිපිට නිල වශයෙන් භූමිකාව භාර ගන්නා නව පාප් වහන්සේ, සාමාන්‍යයෙන් තේරී පත්වීමෙන් පැයක් ඇතුළත සාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් පිහිටි බැල්කනියේ පෙනී සිටියි.

ඉතිහාසයේ දීර්ඝතම සමුළුව 1268දී ආරම්භ වී වසර දෙකක් සහ මාස නවයක් පැවතිණි. නමුත් මෑත කාලයේදී තෝරා ගැනීම් බොහෝ වේගවත් වී ඇති අතර, 20 වැනි සියවසේ මුල් භාගයේ සිට සාමාන්‍යයෙන් දින තුනක් ගත වී ඇත. ෆ්‍රැන්සිස් සහ බෙනඩික්ට් පාප් වහන්සේ තෝරා ගනු ලැබුවේ දින දෙකක කාලයකිනි.

නැවත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (08) කාදිනල්වරුන් නැවත රැස්වීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT