Home » ආර්ථික අර්බුදයේදී ලෝක බැංකුව දුන් සහයෝගයට අගමැතිනියගෙන් තුති

ආර්ථික අර්බුදයේදී ලෝක බැංකුව දුන් සහයෝගයට අගමැතිනියගෙන් තුති

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ ලෝක බැංකුවේ සහයෝගය පිළිබඳ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ලෝක බැංකු කණ්ඩායමේ සභාපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළාය.

අගමැතිනි හරිනි අමරසූරිය සහ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති අජේ බන්ගා මහතා අතර අගමැති කාර්යාලයේදී පෙරේදා (07) පැවති හමුවේදී අගමැතිනිය මේ බව සඳහන් කළාය.

සියලු දෙනාම ඇතුළත් වන සහ තිරසර සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අගමැතිනිය ලෝක බැංකු කණ්ඩායම දැනුම්වත් කළාය. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සහ උපායමාර්ගික සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රමුඛ අරමුණක් වී තිබිණි.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය අගය කළ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති බන්ගා මහතා, ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළේ ප්‍රධානම සාධකයක් ලෙස නව රැකියා නිර්මාණය කිරීම සහ රැකියා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වැදගත් බව අවධාරණය කළේය.

සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ නිෂ්පාදන කර්මාන්ත වැනි තීරණාත්මක අංශවල ආයෝජන කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

විශේෂයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳ මෙන්ම එහි ප්‍රධාන අංශ සංවර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ ශක්‍යතාව හා වැදගත්කම පිළිබඳව ද බන්ගා මහතා සිය අදහස් පළ කළේය. නවෝත්පාදන සහ ඵලදායිතාව සඳහා මෙම කෘත්‍රිම බුද්ධිය භාවිතයේ හැකියාවන් ගවේෂණය කිරීමට ද ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

නැඟී එන කර්මාන්තවල අවශ්‍යතාවන් සමඟ වඩා හොඳින් ගැළපීම සඳහා සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරන බව අගමැතිවරිය සඳහන් කළාය.

මේ හමුවට ලෝක බැංකු කණ්ඩායම නියෝජනය කරමින් එහි විශේෂ උපදේශක Trevor Kincaid, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ David Sislen, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ Gevorg Sargsyan, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දකුණු ආසියාව සඳහා කලාපීය අධ්‍යක්ෂ Imad Fakhoury, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, එම අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධම්මික ප්‍රේමරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT