ශ්‍රී ලංකා – තායිලන්ත ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
වෙළෙඳාම, ආයෝජන, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ මාර්ග ගවේෂණය කිරීම සඳහා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය, එරට අමාටා සංස්ථා පොදු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වික්රොම් ක්රොමැඩිට් මහතා අතර හමුවක් පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අග්නිදිග ආසියාව පුරා කාර්මික කලාප සංවර්ධනය සහ ස්මාට් නගර විසඳුම් සඳහා පිළිගත් ප්‍රමුඛයකු වන අමාටා සංස්ථා පොදු සමාගම සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිනිය සිය කෘතඥතාව පළ කළ තිබේ.
කලාපීය කාර්මික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී අමාටා හි කාර්යභාරය ඇය පිළිගෙන තිබෙන අතර දකුණු ආසියාවේ ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වාසි පෙන්වා දී ඇත. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ලංකා වාණිජ මණ්ඩලයේ ව්‍යාපාරික දූත පිරිස තායිලන්තයේ සිදු කළ සංචාරය තානාපතිනිය විසින් සිහිපත් කර තිබෙන අතර එම නියෝජිතයන් චොන්බුරි හි අමාටා කාර්මික කලාපය නරඹා තිබේ.
මෙම සංචාරයේදී තායිලන්තයේ කාර්මික සංවර්ධන ආකෘතිය පිළිබඳ වටිනා අවබෝධයක් ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකා තායි කාර්මික අංශ අතර අනාගත සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා වේදිකාවක් ලෙස කටයුතු කළ බවත් සිදු කරන ලද විධිවිධාන සඳහා කෘතඥතාව පළ කළ බවත් තානාපතිනිය සඳහන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා විශේෂයෙන් කාර්මික යටිතල පහසුකම් සහ ස්මාට් නගර සංවර්ධනය යන ක්ෂේත්‍ර සලකා බලන ලෙස අමාටා සංස්ථාවට ආරාධනාවක් ද කර ඇත. ප්‍රධාන විධායක නිලධාරී වික්රොම් ක්රොමැඩිට් මහතා මීට වසර 10කට පෙර ශ්‍රී ලංකාවේ කළ සංචාරය සිහිපත් කර තිබෙන අතර ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ඇති උනන්දුව ප්‍රකාශ කර තිබේ.
තායිලන්තයේ අමාටා හි කාර්මික වතු තුළ පිහිටි කර්මාන්ත ශාලාවල ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා දීමේ හැකියාවන් ගවේෂණය කිරීමට ද ඒ මහතා කැමැත්ත පළ කර ඇත. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංස්කෘතික සහයෝගිතාව සඳහා ඇති විය හැකි මාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙන අතර
ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා සංවාදය දිගටම කරගෙන යෑමට සහ ප්‍රායෝගික පියවර ගවේෂණය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.