Home » කොළඹ පාසලක් අසලදී දැරියක පැහැරගන්න හැදූ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

කොළඹ පාසලක් අසලදී දැරියක පැහැරගන්න හැදූ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

by mahesh
May 9, 2025 1:00 am 0 comment

කල්පනි අබේසිංහ දෙව්නි මහගමගේ

කුරුඳුවත්ත මල් පාර ආසන්නයේ තිබෙන කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙනයාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු පැය 72ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (8) අවසර ලබා දුන්නාය.

කුරුඳුවත්ත පොලිසිය මඟින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

කුරුඳුවත්ත පොලීසියේ සැරයන් තිලකරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව සඳහන් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි. ඒ අනුව සැකකරු තවදුරටත් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නාය. ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ, මෙම සැකකාර පුද්ගලයා ඉකුත් 2 වන දින කුරුඳුවත්ත මල් පාර අසලදී පාසලක් අබියස නවතා තිබූ මෝටර් රථයක සිටි පාසල් දරුවකු පැහැර ගැනීමට තැත්කර අගමැති කාර්යාලය පෙදෙසට දිවගොස් ඇති බවය.

මෙම සැකකරු කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය. මෙම දැරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පමක් ලබා ගැනීමේ අරමුණින් සැකකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරු පැය 72 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT