නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ අමානුෂික පහර කෑමට ලක්වූ සිවුදරු පියකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස අමානුෂික ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඩබ්ලියු.එම්.කේ. චන්ද්‍රසේන නමැති 36 හැවිරිදි සිවුදරු පියකු බවද පොලීසිය කියයි.
මෙම පහර දීම ඊයේ (08) රාත්‍රියේ නවගත්තේගම වෙලෙවැව නගරයේ කොත්තු හෝටලයක් අසල සිදුවී ඇති බව කියයි.
එම හෝටලයට කොත්තුවක් මිලදී ගැනීමට යතුරුපැදියකින් පැමිණ සිටි නවගත්තේගම පොලිස් ස්ථානයේ පොලිස් රියැදුරකුගේ යතුරුපැදිය මෙම පුද්ගලයාගේ යතුරුපැදියේ හැපී ඇති බවත් එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගගොස් මෙම පහරදීම සිදුව ඇති බවත් පැවසෙයි.
පොලිස් රියැදුරා තමන් පැලඳ සිටි හෙල්මටයෙන් ද මෙම තැනැත්තාට පහරදීම හේතුවෙන් හිසට, මුහුණට දරුණු තුවාල හා තැළීම් සිදුව තිබූ බවත් එම පහර දීම හේතුවෙන් ශරීරයේ ස්ථාන රැසකට තැළීම් හා තුවාල සිදුව ඇති බවත් ඔහුගේ ඥාතීහු පවසති.
මෙම පහරදීම සිදුකළ පොලිස් රියැදුරා හා පහර කෑමට ලක්වූ තැනැත්තා ද එම අවස්ථාවේදි අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව කියයි.
අදාළ සිද්ධිය පිළිබඳව කළ විමසීමේදි ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් ප්‍රියන්ත ගමගේ මහතා පවසා සිටියේ මේ වන විට පහර කෑමට ලක්වූ තැනැත්තාගේ පාර්ශ්වයෙන් පැමිණිලි ලැබි ඇති බවත් ඒ අනුව ඉදිරි පරීක්ෂණ නිසි ලෙස සිදු කිරීමට කටයුතු කරන බවත්ය.