2025 මැයි 07 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවට එක් වූයේ මෙලෙසිනි.
2025 පළමුවන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ 2025 වාර්ෂික අය වැය ඇස්තමේන්තුවල දක්වා ඇති වර්ගීකරණයන් මත පදනම්ව 2025‑01‑01 දින සිට 2025‑03‑31 දින දක්වා වන 2025 වර්ෂයේ පළමු වන කාර්තුවට අදාළ සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තා කරන ලද ආදායම් සහ වියදම් ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්යසාධනය පිළිබඳ වාර්තාව ඇමැති මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදි.
2025 වර්ෂයේ පළමු වන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය 2025‑05‑15 දින හෝ ඊට පෙර ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව එහි සඳහන්
ආදායම රුපියල් බිලියන
01. බදු ආදායම 970.58
02. බදු නොවන ආදායම 87.26
03. ප්‍රාග්ධන ආදායම 5.77
04. ප්‍රදාන 1.05
මුළු ආදායම 1,064.66 සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
ආයතන කිහිපයක කාර්යභාරය සමාලෝචනයට විද්වත් කමිටුවක්
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනවල කාර්යභාරය සමාලෝචනය කර, ඒවායේ නෛතික ව්‍යූහය හා උපායමාර්ගික සැලසුම් සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දිලීර ආසාදන ප්‍රතිකාර වයල් මිලදී ගන්න මුදල්
ක්‍රිප්ටොකොකල් මෙනින්ජයිටීස් සහ අන්තරංග ලිෂ්මේනියාසස් ඇතුළු ජීවිත අවදානමක් ඇති කරන දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන්ම අවදානම්සහගත ප්‍රතිශක්තීකරණ පද්ධති ඇති පුද්ගලයින් සඳහා භාවිත කරනු ලබන ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50න් වයල් 30,000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු තුනක් ලැබී තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ ශ්‍රී ලංකාවෙහි M/s. Slim Pharmaceuticals (Pvt) Ltd., (Manufacturer – M/s. Gufic Bioscience Ltd., India) වෙත, අදාළ ප්‍රසම්පාදනය මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 194.26ක මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දණහිස් සන්ධි ප්‍රතිස්ථාපන කට්ටල ගන්න ලංසු
දැඩි ලෙස හානි වූ හෝ ගෙවී ගිය දණහිස් සන්ධියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් සංචලතාව වැඩිදියුණු කිරීමට භාවිත කරනු ලබන, රෝගියාට අනුව ඉහළ නම්‍යතාවකින් යුතු දණහිස් වර්ගයේ සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ.
ඉදිරිපත් කර තිබූ මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ලංසු මිලෙන් 2%ක වට්ටමක් ලබා දීමට ලංසුකරු වන M/s Zimmer Pte Ltd (Manufacturer : Zimmer Inc., USA)හි දේශීය නියෝජිතායතනය වන M/s Zodiac Medicals (Pvt) Ltd. එකඟතාව පළ කර තිබේ. TKR සංරචක කට්ටල 3,000ක් වෙනුවට හදිසි අවශ්‍යතාවන් සඳහා දැනට TKR සංරචක කට්ටල 1,000ක් පමණක් සපයා ගැනීමට සිංගප්පූරුවේ M/s Zimmer Pte Ltd (Manufacturer : Zimmer Inc., USA) වෙත ප්‍රසම්පාදනය පිරිනැමීමටත් ඉතිරි ප්‍රමාණය සපයා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් නැවත ලංසු කැඳවීමටත් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව, එකී නිර්දේශය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැති හිමිව තිබේ.
ලංකා විදුලිබල දිගුකාලීන සම්ප්‍රේෂණ ව්‍යාපෘති 10ක්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යරාමුව යටතේ මූල්‍ය සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සිය කැමැත්ත පළ කර ඇත. යෝජිත පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යරාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති 10ක් හඳුනාගනු ලැබ තිබේ. ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 10ක ඇපකර පහසුකමක් ද සහිතව ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 40ක් ද ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 30ක් ද මේ යටතේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්ව පිරිනමනු ලබන පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්යරාමුව යටතේ යෝජිත ග්‍රිඩ් උපපොළ සංවර්ධනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 60ක ආයෝජන පැකේජය ලබා ගැනීමට සහ අමෙරිකානු ඩොලර් මිලියන 10ක් වූ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් අනුග්‍රහය ලබා දෙන අවදානමෙන් සුරක්ෂිත කිරීමේ ඇපකර පහසුකම ලබා ගැනීමට අදාළව ඉදිරි පියවර ගැනීමට බලශක්ති ඇමැති, ඉංජිනේරු කුමාරු ජයකොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණයට උපදේශකයෙකුගේ සේවය
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 04හි ඛනිජ තෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත් එම කාර්යය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමටත් බලශක්ති ඇමැති, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
විනිමය පත්‍ර ආඥා පනතේ යල් පැන ගිය විධිවිධාන සංශෝධනයට
(82 වන අධිකාරය වූ) 1927 අංක 25 දරන විනිමය පත්‍ර ආඥා පනතේ යල් පැන ගිය විධිවිධාන සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම සඳහා 2024‑01‑24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 2024‑07‑15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, 2024‑09‑24 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. එබැවින්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සැලකිල්ලට ගෙන, විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ඇමැති මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, එකී පනත් කෙටුම්පත නැවත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දීමටත් ඇමැති මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතන පනත් කෙටුම්පත සකස් කිරීම කඩිනමින්
ආහාර තාක්ෂණයේ යෙදෙන්නන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත, ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය 2004 වර්ෂයේදී පිහිටුවා ඇති අතර, එම ආයතනය මේ වන විට ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර තිබේ. එම ආයතනය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පවත්වා ගැනීමට ලැබෙන රාජ්‍ය අනුග්‍රහයක් ලෙස සහ ආයතනයේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීම සඳහා 2016‑09‑27 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපති විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුළත් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024‑06‑11 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත. එම කරුණු සැලකිල්ලට ගනිමින්, එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත සංශෝධනයට
1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා 2023‑08‑07 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු නිම කිරීම පිණිස වත්මන් ඇමැති මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බව පෙන්වා දී ඇත. ඒ අනුව, 1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ කාර්යයන් ඉදිරියට කරගෙන යාම සඳහා ඇමැති මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමිති රජයේ විගණනයට
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමට සංශෝධනයක් ඇතුළත් කිරීම සඳහා 2017 අංක 2 දරන දිවි නැගුම (සංශෝධන) පනතින් සංශෝධිත 2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීමට 2024‑12‑30 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සර්වේයර් ජනරාල් තනතුරට වයි.ජී.ඥානතිලක
සර්වේයර් ජනරාල් ලෙස සේවය කළ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ.කේ.එස්.පී.විජේසිංහ මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2025‑01‑22 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි වයි.ජී.ඥානතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පෞද්ගලික අවම වේතන පනත සංශෝධනයට
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම මාසික හා දෛනික වේතනය ඉහළ නැංවීමට අදාළව 2005 අංක 36 දරන සේවකයින්ගේ අය – වැය සහන දීමනාව පනත, 2016 අංක 4 දරන සේවකයන්ගේ අය – වැය සහන දීමනාව පනත සහ 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා 2025‑04‑07 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනයන් ලැබී තිබේ. එකී සංශෝධන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මාධ්‍ය සේවකයන්ට තැපැල් ඡන්ද ලබාගැනීමට ඉදිරියේදී සාකච්ඡාවක්
මැතිවරණ ආශ්‍රිතව කටයුතු කරනු ලබන සේවකයන්ට තැපැල් ඡන්ද ලබාගැනීමට තිබෙන හැකියාව පිළිබඳ මැතිවරණ කොමිසම් සභාව සමඟ ඉදිරියේ දී සාකච්ඡා කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඊට මාධ්‍යයත් ඇතුළත් කර සාකච්ඡා කරන බවද හෙතෙම කීවේය.
“මැතිවරණය ආශ්‍රිත කටයුතු කරන තවත් ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ජනමාධ්‍යයට අමතරව. උදාහරණයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ටත් තැපැල් ඡන්ද අයිතිය නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙනුත් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉදිරියේ දී මැතිවරණ ආශ්‍රිතව කටයුතු කරනු ලබන තැපැල් ඡන්ද ලබාගැනීමට තිබෙන හැකියාව මැතිවරණ කොමිසමත් එක්ක සාකච්ඡා කරන්නම්. මාධ්‍යත් ඇතුළුව යැයි ද ඇමැතිවරයා පැවසීය.