කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ නගරාධිපති ධුර අපේක්ෂක වෛද්‍ය රුවයිස් හනීෆා මහතා මැතිවරණයට ඉදිරිපත්වූ බොරැල්ල දකුණ කොට්ඨාසය ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයා ය.
ඒ අනුව කොට්ඨාසය ජයග්‍රහණය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත්වීමට සමගි ජන බලවේගයේ නගරාධිපති ධුර අපේක්ෂකයාට හැකියාවක් ලැබී නැත.
ජාතික ජන බලවේගය ඉදිරිපත්කර තිබූ අපේක්ෂකයා බොරැල්ල දකුණ කොට්ඨාසයෙන් මනාප 738ක් ලබාගන්නා විට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා විසින් ලබාගෙන ඇත්තේ ඡන්ද 472ක් පමණි. මෙම කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්කර තිබූ අපේක්ෂකයා ඡන්ද 358ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා ඡන්ද 53ක් ද, සර්වජන බලය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා ඡන්ද 33ක්ද වශයෙන් ඡන්ද ලබාගෙන ඇත.
ජාතික ජන බලවේගය නගරාධිපති ධුර අපේක්ෂිකා ව්‍රායි කැලි බල්තසාර් ඉදිරිපත්වූ තිඹිරිගස්යාය කොට්ඨාසය ජයග්‍රහණය කර තිබෙන්නේ ඡන්ද 2094ක් ලබා ගනිමිනි. සමගි ජන බලවේගයේ අපේක්ෂක එම කොට්ඨාසයෙන් ඡන්ද 743ක් ලබා ගෙන දෙවැනි තැන හිමි කර ගෙන ඇත. කොළඹ මහ නගර සභාවට කොට්ඨාස 47කින් අපේක්ෂකයන් තරග කරනු ලැබීය. එම කොට්ඨාස 47න් කොට්ඨාස 32ක්ම ජයග්‍රහණය කරනු ලබන්නේ ජාතික ජන බලවේගය විසිනි.
සමගි ජන බලවේගය විසින් ජයග්‍රහණය කර ඇත්තේ කොට්ඨාස 11ක් පමණි. එක්සත් ජාතික පක්ෂය කොට්ඨාස 2ක් ජයග්‍රහණය කර ඇත. ඒ ග්‍රෑන්ඩ්පාස් හා හල්ට්ස්ඩෝෆ් බටහිර (අලුත් කඩේ) යන කොට්ඨාසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එක් කොට්ඨාසයක් ජයග්‍රහණය කර ඇත. ඒ කෙසෙල්වත්ත කොට්ඨාසයයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෑකන්ද කොට්ඨාසයේ ජයග්‍රහණය හිමි කරගෙන තිබේ.
ඒ අනුව කොළඹ මහ නගර සභාවට අයත් මැතිවරණ කොට්ඨාස 47න් වැඩිම ප්‍රමාණයක් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය විසිනි.
සමගි ජන බලවේගය ඇතැම් කොට්ඨාසවල තුන් වැනි, සිවු වැනි සහ පස් වැනි තැන්වලට පත්ව තිබීම ද විශේෂිත ය. හුණුපිටිය කොට්ඨාසයේ සමගි ජන බලවේගය 5 වැනි තැනත් බ්ලූමැන්ඩල් කොට්ඨාසයේ 4 වැනි තැනටත් වැටී තිබේ.
කොළඹ මහ නගර සභාවට අයත් මැතිවරණ කොට්ඨාස 47න් 32ක්ම ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කළ ද ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් තේරීපත්වූ මන්ත්‍රී ධුර හේතුවෙන් කොට්ඨාස ජයග්‍රහණය නොකළ පක්ෂවලට ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබී තිබේ.
මේ හේතුව නිසා තනි පක්ෂයක් ලෙස වැඩිම ජයග්‍රාහණ ප්‍රමාණයක් මෙන්ම මනාප ප්‍රමාණයක් ලබාගෙන ඉහළින්ම සිටින්නේ ජාතික ජන බලවේගයයි.