Friday, May 9, 2025
Home » කොළඹ නගර සභාව පිහිටුවන්න සජබෙට එජාප සහාය

කොළඹ නගර සභාව පිහිටුවන්න සජබෙට එජාප සහාය

- පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

by mahesh
May 9, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ආණ්ඩුවට බහුතර බලයක් ගැනීමට නොහැකි වුණු පළාත් පාලන ආයතන ඉදිරියට ගෙනයෑමට සමගි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා කොන්දේසි විරහිතව සමගි ජන බලවේගයට සහාය දෙන බව එක්සත් ජාතික පක්ෂය දැනුම් දීමක් සිදුකර තිබෙන බවද මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය. සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට ලැබී තිබෙන ඡන්දවල විශාල පසුබැස්මක් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට බහුතර බලයක් ගැනීමට නොහැකි වුණු පළාත් පාලන ආයතන ඉදිරියට ගෙන යෑමට සමගි ජන බලවේගය කටයුතු කරනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න ජාතික ජන බලවේගය කටයුතු කරමින් සිටිනවා. නමුත් ජනාධිපතිවරයා, අගමැතිනිය සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළේ ඔවුන් හැර අනිත් සියලු දේශපාලනඥයන් හොරු යන පණිවිඩය තමයි ජනතාවට ලබාදුන්නේ. එවැනි පුද්ගලයන්ට ඡන්දය දෙන්න එපා. ඔවුන් බලයට ගේන්න එපා කියන පණිවිඩය ආණ්ඩුව දිගින් දිගටම සමාජගත කරන්න උත්සාහ කළා. නමුත් ආණ්ඩුවට බලය පිහිටුවන්න නොහැකි වුණ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න ස්වාධීනව මැතිවරණයට තරග කළ දේශපාලනඥයන්ට ආණ්ඩුව ආරාධනා කරනවා. පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තරග කළ දේශපාලනඥයන්ටත් ආණ්ඩුව නොයෙකුත් චෝදනා පසුගිය දිනවල දිගින් දිගටම එල්ල කළා.

ආණ්ඩුව තවමත් බොරු කියන එක නවත්වලා නෑ. පළාත් පාලන මැතිවරණයට පෙරත් ආණ්ඩුව බොරු කිවුවා. ඡන්දයෙන් පසුවත් ආණ්ඩුව බොරු කියනවා. ස්වාධීන කණ්ඩායම්වල සිටින්නෙත් හොරු වංචාකාරයන් දුෂිතයන් කියා පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුව ප්‍රකාශ කළා. ඔවුන්ට ඡන්දය දෙන්න එපා කියා ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් පළාත් පාලන මැතිවරණයට පසු ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියනවා ස්වාධීන කණ්ඩායම් සමඟ එකතු වෙලා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා කියලා. ඡන්දයට පෙර හොරු වුණ දේශපාලනඥයන් ඡන්දයෙන් පසුව හොරු නොවන්නේ කෙසේදැයි කියන ප්‍රශ්නය අපට මතුවෙනවා. ආණ්ඩුවට වාසියක් වෙනවානම් හොරු සමඟ හරි එකතු වෙන්න ආණ්ඩුව සූදානම්. ආණ්ඩුවට වාසියක් වෙනවානම් ඔවුන්ගේ ප්‍රතිපත්තිවලම සිටිනවා. ජාතික ජන බලවේගයේ නායකයන් ඡන්දය පෙර සහ පසු කියන කතාවල විශාල පරස්පරයක් තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජන බලවේගයේ නායකයෝ කියන බොරු දැන් ජනතාවට තේරුම් ගොස් තිබෙනවා.

ඒ වගේම කොළඹ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබාගෙන සභාව පිහිටුවන්න ජාතික ජන බලවේගය විශාල උත්සාහයක නිරත වෙනවා. ජාතික ජන බලවේගයේ දෙබිඩි ප්‍රතිපත්තිය පිළිබඳව කොළඹ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් තේරුම් ගත යුතුයි. ඡන්දයට පෙර ස්වාධීන කණ්ඩායම් පිළිබඳව ආණ්ඩුව දරපු මතය සහ ඡන්දයට පසු ආණ්ඩුව දරපු මතය පිළිබඳව ස්වාධීන කණ්ඩායම් වටහා ගත යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT