Friday, May 9, 2025
Home » ඩිජිටල් පරිවර්තනයකට ආරම්භය තබමින් ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් සඳහා වන වැඩමුළුවක්

ඩිජිටල් පරිවර්තනයකට ආරම්භය තබමින් ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් සඳහා වන වැඩමුළුවක්

by yasara
May 9, 2025 4:33 pm 0 comment

රජයේ ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙලෙහි ප්‍රධාන සාධකයක් ලෙස හැකියා සංවර්ධනය කිරීම අවධාරණය කරන ලද අතර, මේ සම්බන්ධයෙන්  ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ බිමල් රත්නායක මහතා විසින්  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වෙත කරන ලද ඉල්ලීමක් පරිදි ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 17 ක සියලුම ප්‍රධාන නිලධාරීන් සඳහා වන වැඩමුළුවක් ඊයේ දින (8) ICTA ආයතන පරිශ්‍රයේදී පැවත්විණ.

මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සහයෝගයෙන් සංවිධානය කර තිබූ අතර මේ සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් වීරසූරිය ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගී විය.

මෙහිදී අනාගතයට ගැළපෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම සහ ජාතික ඩිජිටල් ඉලක්කයන් සමඟ ආයතනික ප්‍රමුඛතා පෙළගැස්වීම සඳහා ක්ෂේත්‍රයේ විශේෂඥයින් පෙළ ගැස්වීම සිදු වූ අතර මෙම වැඩසටහනේ අරමුණු සහ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය කපිල පෙරේරා මහතා ඩිජිටල් පරිවර්තනයේ සාර්ථකත්වයට උපායමාර්ගික දිශාව සහ එහි පාර්ශවකරුවන් පෙළගැස්ම ඉතා වැදගත් වන්නේ කෙසේදැයි අවධාරණය කළේය.

වැඩමුළුවට සම්බන්ධ වෙමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, මෙරට ඩිජිටල් සැලැස්ම සහ අනාගත තොරතුරු තාක්ෂණ පද්ධති සැලසුම් කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ අතර පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යුහගත සැලසුම්කරණය සහ පද්ධති නිර්මාණකරණය අත්‍යවශ්‍ය වන්නේ කෙසේද යන්න මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර  ව්‍යවසාය විශේෂඥතා තොරතුරු තාක්ෂණ රාමු සම්බන්ධයෙන් පැහැඳිළි කිරීමක් සිදුකරමින් සාමිස අබේසිංහ මහතා පෙන්වා දුන්නේ ඒකාබද්ධ පද්ධති නිර්මාණ ප්‍රවේශයක් මඟින් අමාත්‍යාංශ සහ ආයතන තුළ සහයෝගීත්වය මෙන්ම තිරසාරභාවය වැඩි දියුණු කළ හැකි බවයි.මෙම වැඩමුළුවේ කේන්ද්‍රීය කරුණක් වූ ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා (SLUDI) සහ ජාතික දත්ත හුවමාරුව (NDX) භාවිතා කරමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ඒකාබද්ධ කිරීම පිළිබඳ සුමුදු රත්නායක මහතා විසින් පැහැදිළි කළ අතර එහිදී දත්තයන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අදාළ සේවාවල කාර්යක්ෂමතාව සහ පරිමාණය වැඩිදියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මඟපෙන්වීමක් ද සිදු කළේය.

මෑතකදී රාජ්‍ය ගෙවීම් සඳහා  හඳුන්වා දෙනු ලැබූ GovPay යෙදවුමෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හඳුන්වාදීමක් සිදුකළ උදය කස්තුරිරත්න මහතා කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් මූල්‍ය ගනුදෙනු  ප්‍රවර්ධනය කරන ආකාරය සහ ඩිජිටල් සේවා කෙරෙහි මහජන විශ්වාසය වැඩි කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා මහතා  GIC AI නිර්මාණකරණය සහ රජයේ යෙදුම් සඳහා AI භාවිතය පිළිබඳව පැහැදිළි කිරීමක් කළේය. එමෙන්ම මෙහෙයුම් විධිමත් කිරීමට සහ ප්‍රතිපත්ති තීරණ සඳහා බුද්ධිමය සහාය ලබා දිය හැකි AI ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී  ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ආචාර්ය මනෝද ගමගේ මහතා, MSI, MSP, BO සහ PMBA ක්‍රියාවලිය පිළිබඳ  සහ සේවා සැපයීම වඩාත් විධිමත් කිරීම සඳහා ව්‍යාපාර අරමුණු හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරන්නා වූ ප්‍රවණතා සම්බන්ධයෙන් පෙන්වා දුන්නේය.

අවසාන වශයෙන් බන්දුල රණතුංග මහතා HR, ERP, CRM පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන්නේය. වැඩමුළුව අවසානයේ විවෘත සාකච්ඡාවක් පැවති අතර, පැමිණ සිටි පිරිසෙහි අදහස් හුවමාරු කරගැනීමට මෙහිදී අවස්ථාවක් හිමිවිය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ දියත් කළ මෙම වැඩසටහන , ජාතික ඩිජිටල් පරිවර්තන උත්සාහයන් වේගවත් කිරීම සහ රාජ්‍ය අංශයේ සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා තැබූ ශක්තිමත් පියවරක් විය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT