Home » වත්මන් ආණ්ඩුව සැලැස්මක් නැතිව වැඩ කරනවා

වත්මන් ආණ්ඩුව සැලැස්මක් නැතිව වැඩ කරනවා

by mahesh
May 9, 2025 1:00 am 0 comment

වත්මන් ආණ්ඩුව සැලැස්මක් නැතිව රට කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය. රේගු ආඥා පනතේ විධිවිධාන යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

අවධානය යොමු විය යුතු ගැටලු ගණනාවක් තිබෙනවා. පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දරුවන්ට අද වන විට මානසික පීඩන ඇතිවෙලා තිබෙනවා. එක පැත්තකින් නවක වදය. ඒ ගැන මේ ආණ්ඩුවට කියලා දෙන්න ඕන නැහැ. අපිව බංකුවක වාඩි කරවලා ජාතික ආරක්ෂාව ගැන කෙසේ වෙතත් නවක වදය ගැන ලෙක්චර්ස් දෙන්න මේ ආණ්ඩුවට පුළුවන්. විශ්වවිද්‍යාල දරුවන්ට සාධාරණයක් කරන්න. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදු වන නවක වදය ගැන විශේෂ අවධානයක් යොමු කර ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරන්න. මේ වන විට රටේ ඝාතන රැල්ලක් යනවා. පාසල් දැරිවියක් මෑතකදී මරණයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව තිබෙන්නේ මැද කොළඹ ආසනයේ ඔබතුමන්ලාගේ සංවිධායකවරයෙක්. ඒ ගුරුවරයා ආරක්ෂා කර ගන්න ආණ්ඩුව හදනවාද කියලා අපි දන්නේ නැහැ. දරුවන්ට සාධාරණයක් නොකර දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට එය පත් නොකළ යුතුයි. දෙහිවල ප්‍රදේශයේ තරුණයෙක් ඝාතනය වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගත් කටටම කියන්නේ ඒ තරුණයාගේ අම්මා කුඩු විකුණනවා කියලා. මේ දරුවාට වෙඩි තියලා යන එක ඒ ප්‍රකාශයෙන් සාධාරණීකරණය කරන්න හදනවාද කියලා අපට හිතෙනවා. අද කොහෙද වෙඩි තිබ්බේ කියලා උදේට ඇහැරලා අහන තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT