Home » ආයෝජකයන්ට වරප්‍රසාද ලබාදෙමින් ආයෝජනවලට ඉඩ දීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

ආයෝජකයන්ට වරප්‍රසාද ලබාදෙමින් ආයෝජනවලට ඉඩ දීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ආයෝජකයන්ට මේ රට තුළ වරප්‍රසාද ලබාදෙමින් ආයෝජන සඳහා ඉඩ සැලැස්වීමට ආණ්ඩුව පියවර ගත යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

රේගු ආඥා පනතේ විධිවිධාන යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් වාහන ගෙන්වීම තුළින් ආණ්ඩුව ඉලක්ක කර තිබෙනවා. වාහන ආනයනයෙන් රුපියල් බිලියන 432ක් ඉපැයීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. 2025 වර්ෂයේදී ආණ්ඩුවේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4950 යි. ඉන් සියයට අටහමාරක් මේ කාර් ගෙන්වීමෙන් බලාපොරොත්තු වෙනවා. 2024 දෙසැම්බර් 18 සිට මැයි 05 වැනිදා දක්වා එල්.සී. 8552 ක් ඇරලා තිබෙනවා. ඉන් වාහන 52411 ආනයනය කර තිබෙනවා. ඒකෙන් අ‍ෙමරිකානු ඩොලර් 418 ක එල්.සී. විවෘත කරලා රටට ඇවිත් තිබෙනවා. අද වන විට රේගුවෙන් නිදහස් කර ඇති යතුරුපැදි 10800 කුත්, කාර් 13128ක් තුළින් බිලියන 89ක ආදායමක් උපයා තිබෙනවා. එය මාස හතරකට. එය තව මාස 4 කින් වැඩි කළොත් සම්පූර්ණ ආදායම බිලියන 280ක් පමණ ඇස්තමේන්තු වෙනවා. අපේක්ෂා කර තිබෙන්නේ බිලියන 420ක් හෝ 430ක්. ඒ නිසා මේක කොයි ආකාරයෙන් ද වර්ධනය කරන්නේ කියන අදහස බලන්න ඕනෑ. රුපියල ඔරොත්තු දෙන මට්ටමට ගෙනා යුතුයි. එය රටට ඔබිනයි. කාර් ආනයනයේදී වැඩියෙන්ම ජපානය සමඟ ගනුදෙනු කරනවා. රජයේ නිලධාරීන්ට මෙය නිසි ලෙස ග්‍රහණය කර ගත නොහැකි නිසා මාස එකහමාරක් පමණ වාහන රේගුව තුළ තිබෙනවා. කොළඹට එන වාහනයක් නිදහස් කර ගන්න දවස් 4ක් විතර යනවා. හම්බන්තොටට එන වාහනයක් නිදහස් කර ගන්න දවස් 10ක් පමණ යනවා. එමඟින් ලක්ෂ ගණනක් පාරිභෝගිකයාට ගෙවන්න වෙනවා. එය ඉක්මණින් නිවැරදි කරන්න ඕනෑ. ගතානුගතික ක්‍රමවේදයන් අනුගමනය කිරීම නිසා මේ ප්‍රමාදයන් සිදු වෙනවා. පසුගිය මාසයේ සංචිත සියයට 3කින් අඩුවෙලා තිබෙනවා. අපේ ඇඟලුම් කර්මාන්තයත් තවදුරටත් ඉහළ නැංවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වන වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ යුතුයි. අපේ සේවා අංශය විශේෂයෙන් පෝට් සිටි තුළ ස්ථාපිත කළ හැකියි. ආයෝජකයන්ට වරප්‍රසාද ලබාදෙමින් ආයෝජන සඳහා අවස්ථාව ලබාදිය යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT