ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් පසුගියදා වියට්නාමයේ සිදු කළ සංචාරය අවසන් වීමෙන් පසුව මෙරටට පැමිණිම සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැය නොකළ බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
වියට්නාම රජය සිදු කළ ආරාධනයකට අනුව සිදු කළ රාජ්‍යතාන්ත්‍රික සංචාරය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ලෝක වෙසක් උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම වියට්නාමය බලා පිටත් වුණා.
එම උත්සව දෙක අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට මෙරටට පැමිණිම සඳහා වියට්නාමයේ බෞද්ධ සංවිධානය ජෙට් යානය වෙනුවෙන් වියදම් දැරුවා.
ඇමැති විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විජිත හේරත් මහතා මෙසේද පැවැසීය.
වියට්නාමයේ ජනාධිපතිවරයා අපට රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා ආරාධනා කළා. ජනාධිපතිවරයාත් මමත් අපගේ නිලධාරීන් කිහිපදෙනකුත් එම සංචාරයට සහභාගි වූවා. එකක් එය රාජ්‍යතාන්ත්‍රික ආරාධනයක්. අනිත් කරුණ තමයි, එක්සත් ජාතින්ගේ සංවිධානයේ වෙසක් උත්සවය පැවැත්වුණෙත් වියට්නාමයේ. ඒ දෙකටම සහභාගී වෙන්න තමයි අපට ආරාධනා කළේ. හයවැනිදා උදේ තමයි වෙසක් උත්සවය පැවැත්වුණේ. එහි විශේෂ ආරාධිත කතාව අපගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදී තිබුණා.
අපි ඇත්තටම ඒ අයට දැනුම් දුන්නා හයවැනිදා උදේ ඒ කතාව කරලා අපේ රටේ පැවැත්වෙන මැතිවරණයට සහභාගී වීමට අපට ලංකාවට පැමිණිම අපහසු බව. ඒ අනුව වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් විශේෂ වියදමක් දරලා අපට ලංකාවට පැමිණීම වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් සූදානම් කළා. ඒ වෙනුවෙන් සතපහක්වත් අපි වැය කරලා නැහැ.