තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න, වාඩිගල ඉන්ධන පිරවුම්පොළ අසලදී පෞද්ගලික මගී බස් රියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මගීන් දොළොස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හුංගම පොලීසිය පවසයි.
ඊයේ (08) උදේ 7.00ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.
මාතර සිට බදුල්ල දක්වා ධාවනය කළ අධික වේගයෙන් පැමිණි මගී බස් රථය තංගල්ල සිට රන්න දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් ඉන්ධන පිරවුම්හලට හැරවීම නිසා රියැදුරුට එය පාලනය කරගත නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටී ඇතැයි පොලීසිය පවසයි. ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් වහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් තිදෙනෙකුගේ කකුල්වලට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. ඇතිලිවැව, වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි රියැදුරු හුංගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. හුංගම පොලීසියේ රථවාහන අංශය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.