Home » මොරගහකන්ද ජලාශයේ ධීවරයන්ට ගැටලු රැසක්

මොරගහකන්ද ජලාශයේ ධීවරයන්ට ගැටලු රැසක්

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නාඋල සමූහ
මහ­වැලි අධි­කා­රි­යෙන් ධීව­ර­යන්ට ලබා දුන් බෝට්ටු

– ජලාශයේ ගිලී ඇති ගස්වලින් දැල්වලටත් හානි
– මසුන් නෙළීමේ කටයුතුත් අඩාළයි

ගැටලු රැසක් හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ක්‍රියාත්මක මසුන් නෙළීමේ කටයුතු අඩාළ වී ඇතැයි ‘දිරිය’ ධීවර සමිතිය කියා සිටියි.

ආරම්භයේදී ධීවරයන් 400කට වැඩි පිරිසක් මසුන් ඇල්ලීමේ ක්‍රියාවලියේ නිරතව සිටියත් එය මේ වන විට ධීවරයන් 150ට අඩු මට්ටමට වැටී ඇතැයි මොරගහකන්ද දිරිය ධීවර සමිතියේ සභාපති සංජය නිලන්ත මහතා කියා සිටියේය. වසරකට මත්ස්‍ය පැටවුන් ලක්ෂ තිස්පහක් ජලාශයට එක් කිරීමට ජලජීවි වගා සංවර්ධන දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැත් එක් පැටවකුගේ රුපියල් 1.50ක්ව පැවති මිල මේ වන විට රුපියල් 12.00ක් දක්වා ඉහළ යමින් පැවතීමත්, අනවසරයෙන් මසුන් අල්ලා අඩු මුදලට අලෙවි කිරීමත් ආදී කරුණු ගණනාවක් හේතුවෙන් සිය ධීවරයන් මහත් අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මොරගහකන්ද ජලාශ පතුලේ ඉවත් නොකළ ගස් ජලයට යටින් පිහිටීම හේතුවෙන් ධීවරයන්ගේ දැල් ඉරී යෑම බරපතළ තත්ත්වයක් බවත්, ජලාශයේ ජලය අඩුවන අගෝස්තු මාසයේ හෝ දිරාගිය ගස් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බවත් ඔහු කියා සිටියේය. මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමඟ අවට ජීවත් වූ පිරිස මත්ස්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට අනුගත වූ බවත්, මේ වන විට ධීවරයන්ගේ දැල් ඉරී යෑම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් මසුන් ඇල්ලීමේ ක්‍රියාවලියෙන් ධිවරයන් ඉවත් වෙමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ඊට අමතරව අවට ගම්මානවල ජීවත්වන පිරිස් ජලාශයේ වැඩෙන මසුන් නීති විරෝධීව අල්ලා ගැනීම කලක් තිස්සේ සිදුවන්නක් බවත්, එය පාලනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිය ධීවරයන් නිරන්තරව මත්ස්‍ය කර්මාන්තය සිදු කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවත් ඔහු පැවසීය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව ධීවර ගම්මානයක් ඉදිකිරීම, දැල් ආම්පන්න ලබාදීම හා මත්ස්‍ය පැටවුන් අඩු මුදලකට ලබාදීම වැනි කාරණා සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය කඩිනමින් යොමුවිය යුතු අතර, රටට අවශ්‍ය කරන මත්ස්‍ය අස්වැන්න පහසුවෙන් ලබාදීම සඳහා පහසුකම් ලබාදීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

ජලා­ශ­යට වැසී පැවැති ගස් පෑවි­ල්ලට මතු­ව තිබෙන අයුරු

ජලා­ශ­යට වැසී පැවැති ගස් පෑවි­ල්ලට මතු­ව තිබෙන අයුරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT