මලින් මල විකුණා ඉන් ඉපැයූ මුදලින් දියණියන් දෙදෙනකු උපාධිධාරිනියන් කළ මවුපිය යුවළක් ඉකුත්දා අපට හමුවිය. ඒ ජය ශ්‍රීමහා බෝධිය අබියසය. මහ බෝධිය වැඳීමට එන සැදැහැවතුන් වෙත වසර හතළිහක පමණ කාලයක සිට ඕලු, නෙලුම්, මානෙල් ආදී නේක වර්ගයේ, නේක පැහැයේ මල්, පහන්, සුවඳ දුම් අලෙවි කරමින් ඔවුහු දිවිපෙවෙත සරිකරන ඇය චන්දිමා ගුණරත්නය. ඔහු ආර්.ඩබ්ලිව්.එම්.කේ. කුමාරය.
මේ දිරිය මවුපියෝ හිමිදිරියේ මහ බෝධිය අසල මල් කඩ පෙළට විත් හිරු සැඟව යන තෙක්ම එහි රැඳෙමින් වෙහෙස වෙති. රුපියලෙන් රුපියල එකතු කර ඉපයූ මුදලින් දියණියන් දෙදෙනෙකුටත්, සිය එකම පුතුටත් ඉහළට ඉගැන්වීමට නොගත් උත්සාහයක් නැති තරම්ය. අපතේ නොගිය වෑයමක ඉමහත් සතුට විඳිමින් ඔවුහු අද දවස ගෙවති. සිය දරුවන්ගේ ජයග්‍රහණ දකිමින් දෙන්න දෙමහල්ලෝ අදත් මහ බෝධියට මල් විකුණමින් දිවි සටන ගෙන යති. අපමණ සතුටින් ගෙවී යන කාලය පිළිබඳව චන්දිමා ගුණරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි දුවල දෙන්නටයි, පුතාටයි ඉගැන්නුවේ මේ මල් කඩේ මල් විකුණලා. ලොකු දුව දැන් උපාධියක් අරගෙන ගුරුවරියක් විදිහට සේවය කරනවා. පොඩි දුව උපාධි අරගෙන රස්සාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. පුතා මේ පාර උසස් පෙළ විභාගයට ලියනවා. එයත් විශ්වවිද්‍යාලයේ යයි කියලා හිතනවා. බෝධීන් වහන්සේටයි, නායක හාමුදුරුවන්ටයි පින් සිද්ධ වෙන්ඩ අපි දැන් අවුරුදු හතලිහක් විතර තිස්සේ මෙතැන රස්සාව කරලා දරුවෝ ජීවත් කෙරුවා. උදේ පහහමාර විතර වෙනකොට මෙතැනට එනවා. සවස හය හත වෙනකන් වෙළෙඳාම් කරනවා. පෝයදාට රෑ වෙනකන් ඉන්නවා. එහෙම දුක් විඳලා තමයි දරුවන්ට ඉගැන්නුවේ. දැන් දෙයියනේ කියලා සැනසිල්ලේ ඉන්නවා.”
මින් වසර හතළිහකට පමණ පෙරාතුව මාතර ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ ඇති ඔවුන්, මේ පූජා නගරයේ සිදුවූ පරිවර්තනය සියැසින් දැක ඇත්තේය. විටෙක කඳුළත්, තවත් විටෙක සිනහවත් මුසුවු ජීවිත ගමන අද සැනසිල්ලේ ගෙවා දැමීමේ වාසනාව මේ මවුපියනට පෑදී තිබේ. සිය දිවිසැරිය පිළිබඳව ආර්.ඩබ්ලිව්.එම්.කේ. කුමාර මහතා පැවසුවේ මෙවැන්නකි.
“අපි ඉස්සර අනුරාධපුරේට එනකොට හරිම දුෂ්කරයි. යුද්දේ තිබ්බ කාලෙත් අපි බෝධිය ළඟ මල් වික්කා. ඉස්සර මෙහෙම කඩ තිබුණේ නෑ. මේසයක් ගෙනත් ඒක උඩ තියාගෙන තමයි මල් වික්කේ. එතකොට කිහිපදෙනයි මල් විකුණන්න හිටියේ. දැන් සෑහෙන පිරිසක් ඉන්නවා. මුළු අටමස්ථානෙම ගත්තොත් එක තුන්හාරසීයක් විතර මල් විකුණන අය ඉන්නවා. මෙතැනත් කඩ විසිතුනක් තියෙනවා. ඒත් දරුවන්ගේ වාසනාව නිසා වෙන්ඩ ඇති අපිට හැමදාම වෙළෙඳාමක් තියෙනවා. හබ්බ කරපු හැමදෙයක්ම වගේ අපි වියදම් කෙරුවේ දරුවන්ට උගන්නන්ඩ. දරුවොත් අපේ දුක තේරුම් අරගෙන ඉගෙන ගත්තා. ඒ ගැන හිතනකොටනම් සතුටුයි. අපි අපේ යුතුකම ඉටුකරනවා. වෙන බලාපොරොත්තුවක් නෑ. ඉස්සරහටත් අපි දෙන්නා මේ වෙළෙඳාම කරගෙන ජීවත් වෙනවා දෙයියන්ගේ පිහිටෙන්.”
මලින් දිවි ගෙවන යුවතිපතීන්ගේ මුහුණත සිහින් සිනහවකින් ආලෝකවත් වී තිබේ. වචනයෙන් කිව නොහැකි කතාවක් එතුළ සැඟව ඇතැයි සිතේ. මහ බෝ සෙවණේ අදත් නිරෝගී සම්පත්තියෙන් දිවිසටන ගෙන යන මේ මවුපිය දෙපළට සුබ පතා අපි නික්ම ආවෙමු.