Home » ආසියානු යොවුන් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400ක් කොළඹට

ආසියානු යොවුන් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400ක් කොළඹට

තරගාවලිය 12දා සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්
ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති අනුරුද්ධ ශානක මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. ඡායාරූපය - සුදත් නිශාන්ත

වසර 58කට පසු ආසියානු ශූරතාවලියක් ශ්‍රී ලංකා බොක්සිං වළල්ලට රැගෙන එන ඓතිහාසික අවස්ථාව ඉතිහාසයට එක් කරමින් ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය ලබන 12 වැනිදා සිට 23 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ආසියානු බොක්සිං සම්මේලනය සහ ශ්‍රී ලංකා බොක්සිං ආයතනය එක්ව සංවිධානය කරන මේ ශූරතාවලියට ආසියාවේ ලියාපදිංචි රටවල් 43ක් අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. මේ ශූරතාවලිය ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසයට එක්වන්නේ වසර 1967 කොළඹ පැවති තුන්වැනි ආසියානු බොක්සිං ශූරතාවලියෙන් පසු එවැනි මට්ටමේ ශූරතාවලියක් මෙරට පැවැත්වෙන පළමු අවස්ථාව ලෙසිනි. එවකට ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම බොක්සිං ශූරයකු වූ එච්.කේ. කරුණාරත්න එම ශූරතාවලියේදී ජපාන ප්‍රතිවාදියා පරාජය කරමින් කිලෝග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට මෙරට බොක්සිං ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබූ සිදුවීමක් බවට පත්විය.

ශ්‍රී ලංකා බොක්සිං වළල්ලේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදෙමින් මෙවර පැවැත්වෙන ශූරතාවලියේදී රන් පදක්කම් 10ක් දිනා ගැනීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වී තිබේ. ආසියානු ශූරතාවලිය සම්බන්ධව පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර සඳහන් කළේ වසරකට අඩු කෙටි කාලයක් තුළ ආසියාවේ ඉහළම මට්ටමේ බොක්සිං ශූරතාවලියක් සංවිධානය කිරීමේ අභියෝගය ජය ගැනීම මෙන්ම තරගාවලියේ වැඩි ගෞරවය දිනා ගැනීමේ අභියෝගය ජය ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්වනු ඇති බවය.

ආසියානු ශූරතාවලියේ වැඩි ගෞරව දිනාගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 25 දෙනකුගෙන් හා පුහුණුකරුවන් 10 දෙනකුගෙන් සමන්විත නේවාසික පුහුණු කඳවුරක් ස්ථාපිත කිරීමට ද ශ්‍රී ලංකා බොක්සිං ආයතනය පියවර ගනු ලැබීය. එම නේවාසික පුහුණු කඳවුර ස්ථාපිත කර ඇත්තේ ආසියානු ශූරතාවලිය පමණක් නොව වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී පදක්කමක් දිනා ගැනීමේ ඉලක්කය ඇතිවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT