චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා, ‘ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 80වැනි සංවත්සර සැමරුම් අවස්ථාවට සමගාමීව, චීනය සහ රුසියාව අතර නව යුගයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ සහ රුසියානු සමූහාණ්ඩුවේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූහ.
එම ප්‍රකාශයට අනුව, චීනය සහ රුසියාව දෙවන ලෝක යුද ජයග්‍රහණය දැඩි ලෙස ආරක්ෂා කරන අතරම මානව විරෝධී නාසිවාදය සහ වාර්ගික උත්තරීතරවාදී චින්තනය නැවත ඉස්මතු වීම වැළැක්වීමට ද උත්සාහ දරනු ඇත.
ජාතික ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, සුරක්ෂිතතාව සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා දෙපාර්ශ්වය එකිනෙකාට දැඩි ලෙස සහයෝගය දක්වයි. රුසියාව එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින බව නැවත අවධාරණය කළ අතර ඕනෑම ආකාරයක “තායිවාන ස්වාධීනත්වයකට” විරුද්ධ ය. රුසියාව තම ජාතික ආරක්ෂාව, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ගන්නා උත්සාහයට චීනය සහාය දෙන අතර රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර මැදිහත්වීම් සිදු කිරීම්වලට ද විරුද්ධය.
දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සලසමින් ගෝලීය හා කලාපීය සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා චීනය හා රුසියාව හමුදාමය සහ තාක්ෂණික සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කරනු ඇතැයි දෙපාර්ශ්වය නැවත අවධාරණය කරති.
චීනය සහ රුසියාව එකිනෙකාට වැදගත් වෙළඳ හවුල්කරුවන් වේ. ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව දෙරටේ ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී ඇති බව දෙපාර්ශ්වයේ පොදු අදහසකි.
දෙපාර්ශ්වයම සංස්කෘතික හා ශිෂ්ටාචාරමය විවිධත්වයට සහාය දක්වන අතර සියලු රටවල සහ ජනතාවගේ අද්විතීය වටිනාකම්වලට ගරු කරති.
සිය ආධිපත්‍යය සහ ආත්මාර්ථකාමී අවශ්‍යතා සඳහා ඇතැම් රටවල් සහ ඔවුන්ගේ සන්ධාන රටවල්, දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට, පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙලේ මූලධර්ම කඩාකප්පල් කිරීමට සහ ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ මූලික කාර්යභාරය දුර්වල කිරීමට උත්සාහ කරමින් සිටී. මේ පිළිබඳව චීනය හා රුසියාව කනස්සල්ල පළ කරති. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාදර්ශය සහ මූලධර්ම අනුගමනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය නැවත තහවුරු කරති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මහා සම්මේලනය වැනි එක්සත් ජාතීන්ගේ ආයතනික රාමු තුළ සමීප සහයෝගීතාවයක් පවත්වා ගැනීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කරති.
පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය මෙන්ම චීනය විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය මුලපිරුම් ඉතා ධනාත්මක වැදගත්කමකින් යුතු බව දෙපාර්ශ්වයම අවධාරණය කරති.
ඇතැම් රටවල් සහ එහි සන්ධාන රටවල් විසින් තීරුබදු කැපී පෙනෙන ලෙස ඉහල දැමීම සහ අනෙකුත් වෙළඳපල නොවන තරගකාරී පියවරයන් ගැනීම ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇත. දෙපාර්ශ්වය එම ක්‍රියාවන් හෙළා දකිති. ලෝක ආර්ථිකය පහත වැටීමේ පීඩනයට පොදුවේ මුහුණ දෙමින් ගෝලීය දකුණේ රටවල් ජාත්‍යන්තර හා කලාපීය වෙළඳාමට සහභාගී වීම ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වය එක්ව කටයුතු කරනු ඇත.
ජී20, එපෙක්, බ්‍රික්ස් රටවල් සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි ජාත්‍යන්තර යාන්ත්‍රණයන්හි ඵලදායී සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයම තම කැමැත්ත නැවත අවධාරණය කරති.