Saturday, May 10, 2025
Home » බෙල් 212 අනතුරින් අසාධ්‍යව සිටි සෙබළුන් 06දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

බෙල් 212 අනතුරින් අසාධ්‍යව සිටි සෙබළුන් 06දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

by chanaka
May 10, 2025 10:58 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ හමුදා සෙබළුන් 06 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට හැරී ඇති බව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඒ අනුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔවුන් මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.

එම හෙලිකොප්ටර් යානය ඊයේ(09) උදෑසන 06.46ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරෙන් ගුවන් ගත වී මාදුරු ඔය යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුර වෙත ගොස් විශේෂ බලකා විසිර යාමේ පෙළපාලියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුළු වේලාවකට පසු එම අනතුරට ලක් විය.

එම අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා හා කාර්ය මණ්ඩලය ඇතුළු 12 දෙනෙකු ගමන් කර තිබුණි.

අනතුරට ලක් වූ යානයේ ගමන් ගත් සියලු දෙනා මුදාගැනීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සඳහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කෙරුණි.

එහිදී හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතර දෙනෙකු මියගිය ගුවන් හමුදාව නිවේදනය කළේය.

එම හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් ද පත් කර තිබේ.

එසේම මෙම ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පොළොන්නරුව මහ රෝහලට පැමිණ තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT