Home » ගැරඬිඇල්ල බස් රථ අනතුර : ජනපති ශෝකය පළකර​යි!

ගැරඬිඇල්ල බස් රථ අනතුර : ජනපති ශෝකය පළකර​යි!

by chanaka
May 11, 2025 3:20 pm 0 comment

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ තමන් මෙම පුවත ඇසීමෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවත් අනතුරින් තුවාල ලැබූවත් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.

එම නිවේදනය පහතින්,

අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් මම මහත් සේ කම්පාවට පත් වීමි.

රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටී.

මෙම අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර තිබේ.

අද උදෑසන සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත මාගේ බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවද සිහිපත් කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 11 වන දින

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT