Home » ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද ජයතිස්ස පත් වෙයි

ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද ජයතිස්ස පත් වෙයි

by chanaka
May 11, 2025 4:23 pm 0 comment

සවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් විය.

ඒ, ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම 2025 මැයි 8 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදී ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් විය.

මෙහිදී දෙරටේම නියෝජිතයෝ සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති ශක්තිමත් සම්බන්ධතාවය සිහිපත් කළහ. හුවමාරු වැඩසටහන් සහ සාකච්ඡා තුළින් පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ලබා දුන් විශාල සහයෝගයට ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත කාලීන ඉන්දීය සංචාරය ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා නව මංපෙත් විවර කළ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස ඔහු පෙන්වා දුන්නේය. මෙරට අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම මස අගදී ඉන්දියානු පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය විසින් පැවැත්වීමට නියමිත ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කර සිටියේය.

රැස්වීම අමතමින්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සාර්ථක ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ අතර, ඉන්දියාවට සමීප අසල්වැසියෙකු ලෙස බහුවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව ඉදිරියටත් සූදානම් බව අවධාරණය කළේය.

අභිනව සභාපති වෛද්‍ය ජයතිස්ස මහතා සිය කතාවේදී පෙන්වා දුන්නේ දෙරට පාර්ලිමේන්තු අතර පාලමක් ලෙස මිත්‍රත්ව සංගමයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනටමත් පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

මෙහිදී ස්තූති කතාව පවත්වමින්, මිත්‍රත්ව සංගමයේ ලේකම්  වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඉන්දීය මිත්‍රත්වයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, අඛණ්ඩ සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT