කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිතය.
එමෙන්ම අනතුරෙන් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසීමට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා නුවරඑළිය සහ ගම්පොළ යන රෝහලවලට ගොස් තිබේ.
කොත්මලේ – රම්බොඩ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 21 දෙනෙකුට ජීවිතය අහිමි විය.
තවද අනතුරෙන් බරපතල තුවාල ලැබූවන් අවශ්‍ය වුවහොත් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා 2 ක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පැවසීය.