Home » රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

by sachintha
May 12, 2025 1:00 am 0 comment

“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පෙරේදා (10) ආරම්භ කෙරිණි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය ලබන 16 වැනිදා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වේ.

මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබේ.

මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරමින් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගතව ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර තිබේ. මෙම කාලසීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව අවසන් කිරීමට ද පියවර ගෙන ඇත.

එසේම රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ජනතාව තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් සහ බෞද්ධාගමික ප්‍රබෝධය ඇති කිරීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මඟින් ද විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් සහිත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කිරීම විශේෂත්වයකි. රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම මෙන්ම ලෝකයේ බෞද්ධ රටවල් සමඟ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ අරමුණු වේ.

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම ද සිදු කෙරිණි. එහි පළමු සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත්කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේ කීය.

“වෙසක් ආදී උත්සව, මහා පෙරහර, දළදා වහන්සේ ඒ වගේම මේ පිරිවෙන සංස්කෘතිය සියල්ලත් එක්ක තමයි අපේ සංස්කෘතික මූලමණ්ඩලයේ හැඩගැසී තිබෙන්නේ. නුවරඑළිය කියන්නේ බහු සංස්කෘතික, බහු ආගමික සමාජයක් එකට මුහුවෙලා ජීවත් වෙන සමාජයක්.

ඇතැම්විට සමහරු කල්පනා කරනවා ඇති නුවරඑළියේ බෞද්ධ ජනතාව අඩුයි ද කියලා. ඇයි නුවරඑළියට වෙසක් රාජ්‍ය මහෝත්සවය යන්නේ කියලත් කල්පනා කරනවා ඇති. මා දන්නා තරමින් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පන්සල් 336ක් සහ පිරිවෙන් 11ක් පමණ පැතිරී තිබෙනවා.

මේක මහා සමාජයක්. මේක ඓතිහාසික සැමරුමක්. ඓතිහාසික වෙන්කිරීමක් බවට පත්වෙන්නේ මේ සමාජය බහු ආගමික, බහු වාර්ගික සමාජයක් වන නිසාමයි. ගෞතම බුදුන් වහන්සේගේ මේ අමිල පණිවිඩය අප සියලු දෙනාට වඩවඩාත් අවශ්‍ය යුගයක තමයි අප ජීවත් වන්නේ.

ගංගා, යමුනා, අචිරවතී, සරභූ සිවු මහා ගංගා සිවු දෙසින් ගලාගෙන ඇවිල්ලා ශ්‍රමණයන් හැටියට බුදු සසුනට එකතු වෙලා එකම නමකින් හැඳින්වෙනවා වගේ මේ ජාතීන් සියල්ල, ආගම් සියල්ල එකතු කරලා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම පරම චේතනාව කොටගෙන තමයි ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජය කටයුතු කරන්නේ.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි, සෝමාවතී රජමහා විහාරාධිපති, ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක හිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි මුගුණුවල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා සංඝරත්නය ද වැඩම කළහ.

සර්වාගමික පූජකවරුන් ද, කථානායක ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, විදෙස් නියෝජිතයන් ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පෙරේදා (10) ආරම්භවූ රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගිවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව කොළඹ බලා පැමිණෙන අතරතුර මහනුවර දී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර් ථ සුමංගල නාහිමියෝ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියෝ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

සුභාෂිණි සේනානායක

ඡායාරූප – සුලෝචන ගමගේ ජනාධිපති මාධ්‍ය අංශය\

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT