Tuesday, May 13, 2025
Home » බසය කුඩු පට්ටම්
ගැරඬිඇල්ල මාරක අනතුර

බසය කුඩු පට්ටම්

-මරණ 22යි: 6කට බරපතළයි

by sachintha
May 12, 2025 1:00 am 0 comment

මළ සිරුරු එළියට ගත්තේ බසය කෑලි කපලා

අගමැතිනිය ඇමැති බිමල් ගම්පොළ රෝහලට

මගී ජීවිත 22ක් බිලිගනිමින් මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුතම රිය අනතුරක් ලෙස සැලකෙන කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක් ප්‍රපාතයකට පෙරළුණු මගී බස් රථයට යටවී සහ බස් රථය තුළ සිරවී සිටි අන්තිම මඟියා දක්වා මුදගැනීමට පැය 6කට අධික කාලයක් දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

ඊයේ (11) පෙරවරුවේ සිදුවූ මේ අනතුරින් බස් රථයේ බඳට යටවී තුවාල ලබා සිටි මගීන්ගේ ජීවිත බේරාගැනීමට සහ තුවාල ලබාසිටි මඟීන් ඉවත් කරගැනීමට බස් රථයේ බඳ තැනින් තැන කපා දැමීමට ද සිදු විය.

මේ සඳහා ජෙනරේටරයක් ඇතුළු උපකරණ ද කඩිනමින් එම ස්ථානයට ගෙනඒමට පොලීසියේ මැදිහත්වීම මත ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණි.

ජනතාව මිනිස් දම්වැලක් ලෙස බස් රථය පෙරළී තිබූ ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගය දක්වා රැඳීසිටිමින් තුවාලකරුවන් කඩිනමින් ගිලන් රථවල සහ වෙනත් වාහනවල නංවා කඩිනමින් රෝහල් කරා ගෙනයෑමට සහයෝගය ලබාදී තිබිණි.

අනතුර සිදු වනවිට බස් රථයේ මගීහු 80ක පමණ පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූ 58කට වැඩි පිරිසක් ගම්පොළ, කොත්මලේ, නුවරඑළිය, නාවලපිටිය, මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ඉන් තවත් 6 දෙනකුට බරපතළ බව රෝහල් ආරංචිමාර්ග කියයි. බස් රථයට යටවී සිටි අවසන් මගියා පිටතට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ උදෑසන 10.30ට පමණය. එම මගියා බස් රථයේ බඳට යටවී සිට ඇත.

මෙම අනතුර සිදුවීමට මොහොතකට පෙර බස් රථය පැද්දෙමින් ධාවනය වී ඇති බවත් එකවරම තිරිංග ක්‍රියාත්මක වීමත් සමඟ මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට බස් රථය ඇදී ගොස් පල්ලමට වට කිහිපයක් පෙරළෙමින් ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අඩි 100ක පමණ පල්ලමකට පෙරළෙමින් ගිය බස් රථය රෝද උඩට සිටින්නට නතරවී ඇත්තේ කළු ගලකට සිරවී බව ද පොලීසිය සඳහන් කරයි.

බස් රථයේ මගීන් සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිය ජීවිතය ඉල්ලා කෑමොර දෙන විට බස් රථයේ සිරවී සිටි සහ බස් රථයට යටවී සිටි මගීන්ගේ ජීවිතය බේරාගැනීම දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.

බස් රථයට යටවී සිටි පිරිස බේරාගැනීමේ අරමුණින් බස් රථය ඉහළට එසවීමට බූම් ට්‍රක් දෙකක් ද එම ස්ථානයට ගෙනවිත් තිබුණත් බස් රථය පෙරළී ගොස් නැවතී තිබුණු ස්ථානයෙන් ඉහළට බස් රථය එසවීම ලෙහෙසිපහසු කටයුත්තක් නොවීය.

බස් රථයේ සිරවී සහ ඊට යටවී සිටි මගීන් බේරාගැනීමේ මෙහෙයුමට පැය 06ක පමණ කාලයක් ගතවී ඇත්තේ එබැවිනි. යන්ත්‍ර සූත්‍රවලින් බස් රථයේ බඳ කැපීමේදී ද එය පරිස්සමට කිරීමට සිදුව ඇත්තේ එම යන්ත්‍රවලින් ද සිරවී සිටි පුද්ගලයන්ට හානියක් නොවීම සඳහා ය.

මෙම අනතුරින් මරණයට පත්වූවන් අතර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ ඩබ්ලිව්. කැළුම් චන්දන (38) නමැත්තා ද වන බව පොලීසිය කියයි.

අනතුර සිදුව ඇත්තේ බස් රථය නුවරඑළියෙන් ගමන් අරඹා පැයක් යන්නට මත්තෙනි. බස් රථය අනතුරට ලක්ව ඇත්තේ අලුයම 4.30ට පමණ බව පොලීසිය සඳහන් කරයි. ඒ වනවිටත් බස් රථයේ මගීන් 75කට වැඩි පිරිසක් රැදී සිට ඇති බව ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

අනතුර 4.30ට පමණ සිදුවුවත් පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී ඇත්තේ අලුයම 5.00ට පමණය. පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් ගම්වැසියන් එක්ව තුවාලකරුවන් මුදාගනිමින් රෝහල්කරා රැගෙන යෑමට කටයුතු කරමින් සිට ඇත.

කතරගම ඩිපෝවේ බලධාරීන් පැවසුවේ බස් රථය ධාවනයට සුදුසු පරිදි තිබුණු බවයි. එමෙන්ම රියැදුරු ද මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව ද ඔවුහු කියති.

අනතුරින් තුවාල ලැබූ 28 දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන ආ අතර රෝහල් අධ්‍යක්ෂ දුමින්ද ඩයස් මහතාගේ අධීක්ෂණයෙන් රෝහලේ සියලු වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය යොදවා ප්‍රතිකාර ආරම්භ කර තිබිණි. නුවරඑළිය රෝහලට පුද්ගලයන් 18 දෙනකු ඇතුළත් කර බව රෝහල් අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම රෝගීන් අතර පිරිමි විසි තුන් දෙනෙක් හා කාන්තාවන් පස් දෙනෙක් සහ ළමයින් 5ක් සිටි අතර බාලම දරුවාගේ වයස මාස 6ක් විය. එම දරුවාගේ මව, පියා සොයාගෙන නොතිබූ අතර මූලික ප්‍රතිකාරවලින් පසු එම දරුවා පේරාදෙණිය රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබිණි.

තිස්සමහාරාමයේ සිට කෑගල්ල දක්වා නෑදෑ ගමනක් ගිය මව, පියා හා දරු තිදෙනකු ද රෝහල්ගත කර තිබුණි. ඔවුන් අතර අවුරුදු දාහතරක් වූ නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් ද වූහ. අනෙක් දරුවා දොළොස් හැවිරිදි ය.

බස් රථයේ ගමන්ගත් වැල්ලවායේ පදිංචි ඉෂාර මධුසංඛ මහතා තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ගැන මෙසේ කීවේය.

‘‘මගේ ගම වැල්ලවායේ. මම කුරුණෑගල ආයතනයක ඩිප්ලෝමාවක් කරනවා. මම මේ බස් එකේ ආවේ පිටිපස්සෙ සීට් එකේ. මට නින්ද ගිහිල්ලා තිබුණේ. එකපාරම කට්ටිය කෑගහන සද්දෙට මම ඇහැරුණා.

එතකොට මම දැක්කා බස් එක ප්‍රපාතය පැත්තට ඇළවෙනවා. බස් එකේ හිටියේ කට්ටිය කලබල වුණා. එක්වරම බස් එකක රවුම් දෙකක් විතර කැරකිලා පහළට පෙරළුණා. ඒ එක්කම බස් එකේ ලයිට් නිවිලා ගියා.

කරුවලේම මට දැනුණා බස් එක තව පහළට පෙරළී පෙරළි යනවා. මට සිහි කල්පනාව තිබුණා. මිනිස්සුන්ගේ මරලතෝනි එක්ක තව තව බස් එක පහළට පෙරළිලා ගියා“

‘‘බස් එක පහළට පෙරළීගෙන ගියාට පස්සේ මම මගේ දුරකතනයේ ලයිට් එක ගහලා බැලුවම ඇතුළේ හිටිය අය එක එක දුක්අඳෝනා කියමින් කෑගහමින් සිටියේ. එක්කෙනෙක් කියනවා මගේ කකුල නෑ කියලා, තව එක්කෙනෙක් අත නෑ කියනවා.

මමත් කකුල අතගාලා බැලුවා. ඒවා හොඳට තිබුණු නිසා මම බස් එකේ බඩගාගෙන ඉස්සරහට ඇවිත් එළියට ආවා. එළියට ඇවිත් මගේ ඇඟ හැම තැනටම ටෝච් එක ගහලා බැලුවා ඇඟේ අත්, කකුල් සේරම තියෙනවා ද කියලා.

ඒවා තිබුණු බව මට දැනුණ නිසා මට එච්චර වේදනාවක් දැනුණේ නෑ. මම බස් එකේ හිටිය ළමයි දෙන්නෙකුයි, නැන්දා කෙනෙකුයි පාරට අරගෙන ආවා. මම ආයෙත් පහළට ගිහින් තව අයියා කෙනෙකුත් අරන් ආවා.

පාන්දර හින්දා කවුරුවත් එතැනට ආවේ නැහැ. අනෙක් එක ඒ හරියෙත් ගෙවල් නෑ පාළුයි. පස්සෙන් මම පහළට ගිහින් බස් එකේ කොන්දොස්තර අයියත් උඩට ගෙනාවා. ඊට පස්සේ කට්ටිය එතැනට ඇවිත් අපිව ගම්පොළ රෝහලට අරන් ආවා.

සිද්ධියට මුහුණ දුන් තිනූෂා ලක්මාලි මහත්මිය මෙසේ පැවසුවාය:

‘‘අපේ ගම තිස්ස. මමයි මහත්තයයි පුතාලා තුන්දෙනයි කෑගල්ලේ පුංචිලාගේ ගෙදර යන්න ආවේ. කතරගමින් රාත්‍රී දහයට පිටත් වෙන බස් එකේ නැඟලා අපි ආවා. වැඩි හරියක් නින්දේ තමයි ආවේ. බස් එක පෙරලුණේ කොහෙද කියලා දන්නේ නෑ. අපි පස්දෙනාම ගම්පොළ රෝහලට අරන් ආවා. මට එච්චර තුවාල නෑ. පුතාලටයි මහත්තයටයි ටිකක් අමාරුයි. බස් එක පෙරළෙනකොට මම ඇහැරිලයි හිටියේ.“

කෑගල්ලේ පදිංචි නිස්සංක උදය කුමාර මහතා මෙසේ පැවසුවේය.

‘‘මමයි වැඩ කරන ආයතනයේ ප්‍රධානියයි අපි ගමේ එන්න කතරගමින් රෑ දහයට බස් එකට නැග්ගා. බස් එකේ සීට් සම්පූර්ණ වෙලා හිටගෙනත් කට්ටිය හිටියා. රම්බොඩ දී තමයි අනතුර වුණේ. එක්වරම බස් එක පැත්තට ඇලවුණා. ටික වෙලාවක් එහෙම තියෙනකොට මිනිස්සු කලබල වුණා. ඒ එක්කම බස් එක පහළට පෙරළුණා.“

කුරුණෑගල පදිංචි ප්‍රියන්ත මහතා මෙසේ සඳහන් කළේය.

‘‘මම හපුතලේ බෙරගලින් බස් එකකට ගොඩවුණේ. සීට් තිබුණේ නෑ, හිටගෙන ආවේ. බස් එක එකවරම ප්‍රපාතය පැත්තට ඇලවුණා. ටික වෙලාවක් එහෙම තිබිලා එක්වරම අනිත් පැත්තට පෙරළී ගෙන ගියා. මට හානියක් වුණේ නෑ. බස් එක පෙරළිලා නතර වුණාට පස්සේ මම බඩ ගාගෙන බස් එකෙන් එළියට ආවා. මිනිස්සු මරලතෝනි දෙනවා ඇහුණා“

නිහාල් ලක්මාල් රණබාහු මහතා මෙසේ පැවසීය.

‘‘මම යුද හමුදාවේ සේවය කරන්නේ. මෙවර වෙසක් සතිය නුවරඑළියේ තියෙන නිසා පහන් කුඩු සකස් කිරීමට මම නුවරඑළියට ඇවිත් හිටියේ. වෙනදා මේ බස් එක නුවරඑළියට එනකොට 3.45 විතර වෙනවා. අද බස් එක විනාඩි 45ක් විතර පරක්කු වෙලා ආවේ.

මම ගෙදර යන්න මේ බස් එකට නැග්ගා. සෙනඟ ගොඩක් වැඩි නිසා මම බෑග් එකක් තියාගෙන දොර ගාව හිටගෙන හිටියා. එකවරම බස් එක පැත්තට ඇලවෙලා තත්පර ගණක් ඒ විදිහටම තිබුණා. මිනිස්සු කලබල වුණා. එතකොට බස් එක පහළට පෙරළෙන්න පටන් ගත්තා. රවුම් හතරක් විතර කැරකෙනකොට මට සිහිනැතිවුණා. සිහිය ඇවිත් බලනකොට මගේ එක් අතක් හොල්ලන්වත් බෑ. මම අනෙක් අතින් බස් එකේ බඩගාගෙන එළියට ආවා. වීල් එකකින් කොත්මලේ රෝහලට ගෙනාවා. එතැනින් ගිලන් රථවලින් ගම්පොළ රෝහලට ගෙනාවා.”

කොත්මලේ රෝහලේ ප්‍ර‍තිකාර ලැබූ රෝගියකු මෙසේ පැවසීය.

‘‘මම කතරගම ඉඳලා මහනුවර යන්න ආවේ. බස්එක පෙරළෙන වේලාවේ බස් එකේ මිනිස්සු 100ක් විතර ඉන්න ඇති. එකපාරටම බස් එක ඇදිලා යනවා වගේ දැනුණා. ගොඩක් මිනිස්සු හිටියේ නින්දේ. ඊට පස්සේ බස් එක තේ වත්තක් පැත්තට පෙරළෙන්න ගත්තා. මම කොහොම එළියට විසිවුණා ද කියලා මම දන්නේ නැහැ. මේ බස් එක හැමදාම යන බස් එකක්. බස්එක තේ බොන්න තවලන්තැන්න හන්දියට ඇවිල්ලා නතර කරනවා. මෙම බස් රථය අනතුරට ලක්වූ ස්ථානයේ ඉඳලා තේ බොන ස්ථානයට ඉතාම සුළු දුරක් තිබෙන්නේ. තව විනාඩි පහක් පමණ පරක්කු වුණා නම් මේ අනතුර වැළකිලා මේ හැමෝම තේ බොන්න නතර වෙන්න තිබුණා.”

රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළුණු බස් රථය ඊයේ (11) දින පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණී.

පොලීසිය සහ යුද හමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් බස් රථය ගොඩගනු ලැබීය.

ගයාන් කුමාර වීරසිංහ, සුභාෂිණී සේනානායක, ගම්පොළ සමූහ – සුරංග දිල්හාන් සහ නෝර්වුඩ් සමූහ – හැටන් රංජිත්

රාජපක්ෂ

ඡායාරූප- සුලෝචන ගමගේ, ගම්පොළ සමූහ – සුරංග දිල්හාන් සහ නෝර්වුඩ් සමූහ – හැටන් රංජිත්

රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT