Home » පෝ දා දම් දෙසුම

පෝ දා දම් දෙසුම

by sachintha
May 12, 2025 1:26 am 0 comment

සුව ගෙන දෙන කරුණු සතරක් 

“සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේසනා සුඛා සංඝස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුඛො”   

සැදැහැවත්නි,

වෙසක් පුර පසළොස්වක පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනයයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම, තෙවැනි වරටත් බුදුරදුන් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමි සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසිවැනි වියේ දී පිරිනිවන්පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයාගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනිවරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීමය.

බුදුරදුන් වදාළ සුව ගෙන දෙන කරුණු සතරක් පිළිබඳ අද වෙසක් පොහෝදා මෙනෙහි කර සිටීම ඉතා වැදගත්ය. සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩිසිටි පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලා අතර මෙලොව යහපත්ම සැප කවරේද? යන්න පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිණ. එම භික්ෂු පිරිස අතර රාජ්‍ය ශ්‍රී සම්පත් විඳිමින් සිට රජ කුලයෙන් පැවිදිවූවෝ ද, කම්සැප විඳ පැවිදිවූවෝ ද, මිහිරි රස බොජුන් අනුභවකොට සිට පැවිදිවූවෝද සිටියහ. ඒ ඒ පිරිස් ගිහිව සිටි කාලයෙහි තමන් දැනසිටි දේ ම සැප යැයි කීහ.

ඒ අනුව රජ කුලයෙන් පැවිදි වූ භික්ෂූන් වහන්සේලා මෙලොව රජ සැපතම ඉතා උසස් බවත් එබැවින් රජ සැපත තරම් යහපත් සුවයක් නොමැති බවත් ප්‍රකාශ කළහ. කම්සැප විඳ පැවිදිවූවෝ පස්කම් සැපතම යහපත් බවත් එයට වඩා මන පිනවන උසස් සැපතක් ලෝකයේ නොමැති බවත් ප්‍රකාශ කළහ. ගිහිගෙයි රසමසවුළෙන් යුත් මිහිරි බොජුන් අනුභවකොට පැවිදි වූවන් සඳහන් කළේ රසමසවුළෙන් යුත් රස බොජුන් වැලඳීමම උසස්ම සැපත බවත් මෙලොව එයට වඩා උසස් සැපතක් නොමැති බවත්ය.

එවේලෙහි එතැනට වැඩම කළ බුදු රජාණන් වහන්සේ හමුවෙහි ඔවුහු තම තමන් සැප යැයි කී දේ පිළිබඳ වෙන්වෙන් වශයෙන් සැලකර සිටියහ. එවිට එම භික්ෂු පිරිස අමතා එම එකම දෙයක් තුළවත් සැපතක් නොමැති බවත් ඒ සියල්ල කෙළවර නොදැකිය හැකි දිගු සසර දුකටම ඇතුළත් වන බවත් වදාළහ.

“සුඛෝ බුද්ධානං උප්පාදෝ…” බුදු උපත සැපතකි. සදහම් දෙසුම සැපතකි. සඟ සමගිය සැපතකි. සමගිවූවනට තපස සැපතකැයි වදාරා මෙකී පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලාට ධර්මාව‍බෝධය කරවා අරහත්භාවයෙහි පිහිට වූ සේක. මේ අනුව සියලු සත්ත්වයින්ගේ දුක් ගිනි නිවා, සෙත සලසන හෙයින් ද සත්ත්වයින් සසර කතරින් එතෙර කරවන හෙයින් ද බුදුවරයන් වහන්සේලාගේ පහළවීම සැප පිණිස පවතියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT