Home » ජීවිතාවබෝධයෙන් නිවන වෙත යන මඟ

ජීවිතාවබෝධයෙන් නිවන වෙත යන මඟ

by sachintha
May 12, 2025 2:01 am 0 comment

සියම් මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි

වෙසක් උත්සවයේ දී බොහෝවිට ආමිස පූජාව ඉස්මතුව ප්‍රතිපත්ති පූජාව යටපත් වන ස්වභාවයක් දක්නට ලැබේ. ජීවිතාවබෝධය තුළින් නිවන කරා යන ගමන සාක්ෂාත් කරගනු වෙනුවට රාග, ද්වේෂ, මෝහ උපදවන ආකාරයේ සිදුවීම් වෙසක් උත්සව සමයේ දී දක්නට ලැබෙන අවස්ථා ද තිබේ. මෙම කරුණු සම්බන්ධව සියම් මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කර තිබේ.

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් උත්සවයේ දී බොහෝවිට ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාව කෙරෙහි ලාංකේය බෞද්ධ ප්‍රජාව උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. තොරණ ඉදි කිරීමේ සිට දන්සල් ලබාදීම දක්වා බොහෝ පින්කම් මෙම කාල සීමාවේ දී දක්නට ලැබෙන අතර එය එක්තරා ආකාරයක බෞද්ධාගමික ප්‍රබෝධයක් රට තුළ ඇතිවීමට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නොවන්නේය. ප්‍රතිපත්ති පූජාව මෙන්ම ආමිස පූජාව ද බෞද්ධාගමිකයකුට වැදගත් ය. වත්මන් සමාජය තුළ මෙම දෙකෙහිම යෙදෙන පිරිස් දක්නට ලැබේ. තවත් අය ආමිසයට වඩා ජීවිතයට වඩා වැදගත් වන්නේ ප්‍රතිපත්තිය යැයි සිතති. එසේ වුවත් දන්සල, තොරණ, පහන් කූඩුව අපට ප්‍රතික්ෂේප කිරීම ද කළ නොහැකිය. ප්‍රතිපත්තියට යොමුවීමේ දොරටුව වන්නේ ආමිසයයි. පුද්ගලයකු ප්‍රතිපත්තිගරුක වීම සඳහා හේතුවන ආකල්පමය වෙනස ඇති කිරීමට ආමිසය ප්‍රමුඛ වන බව අප තේරුම්ගත යුතුය. එසේ වූ පමණින් ප්‍රතිපත්තිය යටපත් කර ආමිසයට මූලිකත්වය දී කටයුතු කිරීමෙන් නිවන අවබෝධ කර ගැනීම සඳහා යන ගමනට ලැබෙන දායකත්වය අල්පය.

වෙසක් සමයේ දී උත්සවශ්‍රීයෙන් සැමරුම් සිදු කිරීමට වඩා බෞද්ධ ජනතාව තමන් තුළ වූ ආධ්‍යාත්මික සංවර්ධනය වැඩිදියුණු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. අපේ ඉතිහාසය දෙස බැලීමේ දී පස්වැනි සියවසේ සිට සම්බුදු තෙමඟුල උත්සවශ්‍රීයෙන් සමරා තිබෙන බව පෙනෙන්නට තිබේ. පාහියන් භික්ෂුවගේ වාර්තා මඟින් ඒ බව තහවුරු වෙයි. දුටුගැමුණු වැනි රජවරු වෙසක් උත්සවය ඉහළින් සමරන්නට කටයුතු කර තිබෙන බවට තොරතුරු පවතියි. වෙසක් දිනයේ දී අපි බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය සමරනු ලබන්නෙමු. බුදු උපත හා පරිනිර්වාණය ගත්විට ඒ ඔස්සේ සමාජයට ප්‍රබල පණිවිඩයක් සන්නිවේදනය කරනු ලබයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නේ රජ මාලිගාවකදී ය. රජ සැප මධ්‍යයේ උපත ලබන උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වන්නේ කුසිනාරාවේ උපවත්තන සල්උයනේ ගසක් යටදී ය. දුගීව උපත ලැබ ගසක් යට මරණයට පත්වීම සාමාන්‍ය සංසිද්ධියක් වුවද රාජකීය සැප සම්පත් සහිතව උපත ලැබ ගසක් යට දිවි ගමන අවසන් කිරීම ඊට වඩා වෙනස් ය. එමඟින් අපට ලබාදෙන පණිවිඩය තේරුම් ගැනීම වැදගත්ය. ලෞකික සැප සම්පත්වලට වඩා ආධ්‍යාත්මික සුවයේ වටිනාකම තේරුම් ගැනීමට බුද්ධ චරිතය තුළින් ගත හැකි ආදර්ශය අතිමහත් ය. එසේවුවත් වත්මන් සමාජය එය නිවැරදිව කියවා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ගැටලුවකි.

වෙසක්, උත්සවශ්‍රීයෙන් පැවැත්වීම මඟින් සිත පිනවීමට කිරීමට වඩා වැදගත් වන්නේ සිත දමනය කර ගැනීම සඳහා ඉන් මඟ පාදා ගැනීමයි. සැබෑ බෞද්ධයකු කිසිවිටෙකත් බෞද්ධකම ප්‍රදර්ශනය කිරීමට වෑයම් නොකරයි. එසේ වුවත් අද බොහෝවිට දක්නට ලැබෙන්නේ ප්‍රදර්ශනාත්මක ස්වරූපයේ බෞද්ධයින් ය. සුදු වතින් සැරසී, බෞද්ධ ධජයක් පැලඳ මහා පින්කම් කළ පමණින් බෞද්ධයකු නොවන්නේ ය. බාහිර ස්වරූපයෙන් බෞද්ධයකු බව පෙන්වීමට වඩා ජීවිතයට වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය ජීවිතයට එකතු කර ගනිමින් ජීවත් වීමයි. අවම වශයෙන් පන්සිල් පද පහ හෝ ආරක්ෂා කරන පුද්ගලයකු වන්නට බෞද්ධයින් අවධානය යොමුකළ යුතුය. අද තරගකාරීව පින් කරන්නට උත්සාහ කරන පිරිස් ද දක්නට ලැබේ. ලොකුම තොරණ, ලොකුම දන්සල ලබා දී බෞද්ධකම ඉහළින් පෙන්වන්නට උත්සාහ කරන්නෝ ද සිටිති. අද ඇතැම් බෞද්ධයෝ ආමිස පූජාවන්හි යෙදෙන්නේ ප්‍රදර්ශනය සඳහා ය. තමන් බලවතා යැයි කීම සඳහා ලෝකයට පෙන්වන්නට පින්කම් සිදු කිරීමෙන් ජීවිතයට ලැබෙන්නා වූ සුගතියක් නොමැත. එය මුළුමනින්ම සම්බුද්ධ දේශනාවට පටහැනිය. පින් කරන්නට ඇති කරගන්නා තරගකාරීත්වය තුළම බෞද්ධකම අත්හැරෙන්නේ ය. මෙම යථාර්ථය නිවැරදිව තේරුම්ගෙන ආමිස පූජාවල යෙදීම ඉතා වැදගත්ය.

බුදුන්, ලොව පහළ වන්නේ මිනිසාගේ සසර ගමන කෙටිකර නිවන් අවබෝධ කරදීමේ මඟ පෙන්වාදීම පිණිසය. සම්බුදු තෙමඟුල සිහි කරන මෙම අවස්ථාවේ අපේ අවධානය යොමුවිය යුතු වන්නේ ඒ කාරණය කෙරෙහිය. සසර කෙටි කර ගැනීමට මඟ පාදාගැනීම වෙනුවට සසර දිගු කරගැනීම සඳහා වන ක්‍රියාවල වෙසක් දිනයේ යෙදෙන්නේ නම් එය බෞද්ධාගමිකයන් ලෙස අප කනගාටු විය යුතු කරුණකි. බුදුන් වහන්සේ සත්‍යය අවබෝධ කරගත්තේ වෙසක් පුන් පොහෝ දිනයේ යි. පන්සාලිස් වසක් සූ අසූ දහසක් ධර්මය දේශනාකොට බුදුන් වහන්සේ පිරිනිවන්පාන්නේ ද වෙසක් පුන් පොහෝ දිනයක යි. එමඟින් ජීවිතයේ අනිත්‍යතාව පෙන්වා දෙයි. ආමිසයට මූලිකත්වය දීම ඔස්සේ ආධ්‍යාත්මික පරිහානියක් වෙසක් මහේ සිදු වන්නේ නම් සම්බුදු තෙමඟුල සැමරීමේ උතුම් පරමාර්ථ ගිලිහී යනු ඇත. දහමට තනිව පැවතිය නොහැකි අතර ඊට විද්‍යාව හා කලාව එකතු විය යුතුයි. රුවන්වැලි සෑය නිර්මාණය වී තිබෙන්නේ මේ සියල්ලේ එකතුවෙනි. වෙසක් සැබෑ ලෙස අර්ථවත් කර ගනිමින් අධ්‍යාත්මය සංවර්ධනය කර ගැනීමට මේ අවස්ථාවේ අවධානය යොමුකළ යුතුය. බුදුන් සෑමවිටම දේශනා කළේ මා දැකීමට වඩා මගේ දහම දැකීමට උනන්දු වන ලෙසයි. ආමිසය නරක නැත. නරක ඇත්තේ ආමිසය තුළින් ප්‍රතිපත්තියට යොමු නොවීම ය. මල් පූජා කිරීම වරදක් නැත. නමුත් ඒ ඔස්සේ කියාදෙන අනියත බවේ පණිවිඩය තේරුම් නොගන්නේ නම් මල් පූජා කිරීමෙන් පලක් නැත. ආමිසය ළදරු පාසල් අධ්‍යාපනය ලෙස සැලකුවොත් ප්‍රතිපත්තිය උසස් අධ්‍යාපනය ලෙස තේරුම් ගැනීමට පුළුවන. උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමට ළදරු පාසලේ දී ලබන අධ්‍යාපනය අඩිතාලමක් කරගත හැකිය. ප්‍රශ්නය ඇත්තේ එහිම ඇලී ගැලී සිටිමින් උසස් අධ්‍යාපනය කරා යොමු නොවීම ය. දානය තුළින් අත්හැරීමේ පණිවිඩය පුරුදු පුහුණු කරන්නෝ දුලබය. ශ්‍රද්ධාවෙන් ආරම්භයක් ගෙන එය ප්‍රඥාවෙන් කෙළවර විය යුතුයි.

මෙතරම් බණ කියන රටේ අපරාධ වැඩි ඇයි ද යන්න සම්බන්ධයෙන් අද සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ. අපේ රටේ බණ අහන වැඩි පිරිස වැඩිහිටියන් ය. ඔවුන් අමුතුවෙන් සකස් කළ යුතු නැත. දහම් පණිවිඩය යා යුත්තේ තරුණයන් අතට ය. එසේ වුවත් එවැනි තත්ත්වයන් දක්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. තරුණ කණ්ඩායම් ධර්මය කෙරෙහි ආකර්ෂණය කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළක අවශ්‍යතාව තිබේ. තරුණ ප්‍රජාව තුළ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම සඳහා දහම තුළින් වැඩි ඉඩක් පවතින අතර, ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා ඇති අවස්ථා ප්‍රමාණවත් නොවීමය. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මහ ගෙදර ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවයි. මේ රට කෙරෙහි පවතින එම කීර්තිනාමය සැබෑ ලෙස ලෝකයට පෙන්වුම් කළ හැකි ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ගැටලුවකි. ඔබලා කියන ධර්මයේ හරය රට තුළ දැකීමට පුළුවන් ද කියන ප්‍රශ්නය පෙරලා ලෝකය විසින් අප වෙත යොමුකළහොත් පවතින පසුබිම තුළ සිදුවන්නේ නිරුත්තර වීමට ය. මේ නිසා බෞද්ධ දර්ශනයේ සැබෑ හරය සමාජයක් ලෙස තේරම් ගැනීම කාලෝචිත අවශ්‍යතාවක් වන අතර මහා සංඝරත්නයට ද එහි දී සුවිශාල කාර්යභාරයක් පැවරෙයි.

ඕනෑම ආගමික උත්සවයක් පැවැත්විය යුත්තේ මූලික කරුණු දෙකක් පදනම් කරගෙනය. පළමුවැන්න නම් සිත් පහන් කිරීම යි. දෙවැන්න වන්නේ සංවේගය ඉපදවීමයි. පහන් යනු ප්‍රසන්නභාවය යි. බුදුන්ගේ මූලික ඉගැන්වීම ද එය යි. සංවේගය යනු ජීවිතාවබෝධය ඇතිකර ගැනීමයි. පුදන මලෙත් දල්වන පහනෙත් එල්ලන වෙසක් කූඩුවේත් ඒ ධර්මය, අනිත්‍ය ප්‍රදර්ශනය විය යුතුයි. චාරිත්‍ර වාරිත්‍ර එක් පැත්තකත් ධර්මය තවත් පැත්තක් තිබේ. චාරිත්‍රය පමණක් ප්‍රදර්ශනය වීමට වඩා ඒ තුළ ධර්මයක් ක්‍රියාත්මක වන්නේ නම් අගනේ ය. විහාරස්ථානයට ගියාම බිම වාඩිවීම චාරිත්‍රයකි. නමුත් එහි ධර්මය සමානාත්මතාවයි. චාරිත්‍රය සිදු කරන අතරතුර ධර්මය කුමක් ද යන්න තේරුම් ගැනීම වැදගත් ය. දානයෙන් පමණක් නිවන කරා යා නොහැකිය. ඒ සඳහා ශීලය හා භාවනාව ද අත්‍යවශ්‍ය ය. සමාජයේ බොහෝදෙනකු පහසුදේට යොමුවීමට වැඩි නැඹුරුතාවක් දක්වන ස්වභාවයක් පවතියි. ඒ නිසා වැඩි වශයෙන් බෞද්ධයෝ දානය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වති. කෙසේ වුවත් දානය තුළින් ඇතිකර ගන්නා සිතුවිලි ඔස්සේ ආධ්‍යාත්මික සුවය සොයා ගමන් කිරීමට කාලෝචිත අවශ්‍යතාවකි.

විහාරස්ථානයක ධර්ම දේශනාවක් පවත්වන අවස්ථාවක සහභාගි වන තරුණ පිරිසකට වඩා ගමේ සංගීත සංදර්ශනයක් සඳහා සහභාගි වන පිරිස වැඩිය. මේ නිසා විහාරස්ථාන කරා තරුණයන් ආකර්ෂණය කිරීම කෙරෙහි භික්ෂූන් වහන්සේ නොයෙක් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. බෝධි පූජා, කවි බණ ආදී නොයෙක් වැඩසටහන් ඔස්සේ මෙම තරුණ ආකර්ෂණය ලබා ගැනීමට විහාරස්ථාන මඟින් කටයුතු කරන ස්වභාවයක් දක්නට ලැබේ. මේ තුළ ඇතැම් අවස්ථාවල විහාරස්ථාන මඟින් ද ප්‍රතිපත්තියට වඩා ආමිසයට මූලිකත්වය දී ආගමික වැඩසටහන් සංවිධාන කරන අවස්ථා තිබේ. ආමිස පූජාව කිසිසේත් බැහැර නොකළ යුතුය. එසේ වුව ද ආමිස යේ පමණක් ඇලීගැලී ප්‍රතිපත්ති පූජාව අමතක කිරීමෙන් සැබෑ බෞද්ධයකු බිහි නොවන බව අප තේරුම්ගත යුතුය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT