ඔබේ සෞඛ්‍ය ගැටලුවත් අපට යොමු කරන්න
දිනමිණ, සුව හමුව, ලේක්හවුස්, කොළඹ 10
news.dinamina@lakehouse.lk
මල බද්ධයෙන් පීඩා විඳිනවා
ප්රශ්නය – මාගේ අවුරුදු 18ක වයසේ පසුවන පුතු හට අඩුවෙන් මල පිටවීමේ ගැටලුවක් කලෙක සිටම පවතිනවා. බඩ වේළුණු ගතියකින් නිතර පීඩා විඳිනවා. මුලින් රසම් ආදී අත්බෙහෙත් දුන්නා මිසෙක වෛද්‍යවරයකු හමුවට පුතු කැඳවාගෙන ගියෙත් නැහැ. මෙයින් වසර 10කට කලින් පුතුට පිත්තාශයේ ශල්‍යකර්මයකුත් කර තියෙනවා. එහි බලපෑමක් නිසාද මෙහෙම වෙන්නේ කියලාත් අපි කල්පනා කරනවා. අනෙක, පලතුරු කෑමට අකමැත්තක් පුතු කලෙක සිටම පෙන්වනවා. එහෙත් දැන් තරමක් එය වෙනස් වී තිබෙනවා. එහෙත්, බඩ වේළුණු ගතිය සමඟ උදරයේ වේදනා ඇති වගටත් පුතු නිතරම කියනවා. මේ නිසා පුතු ඉගෙනීමේ කටයුතුවලටත් පසුබෑමක් පෙන්වනවා. මෑතකදී බෙහෙත් අරන් දුන්නත් නැවතත් පුතු පැරණි අසනීප තත්ත්වය ගැනම කියනවා. මෙයට පිළියමක් කියන්න.
සුහර්ෂි – ගාල්ල
පිළිතුර – මල බද්ධයට හේතු අපි මුලින් හඳුනාගත යුතුයි. තයිරොක්සින් අඩුකම නිසාත් මල බද්ධය ඇති වන්නට පුළුවන්. ඒ හැර වෙනත් හේතු බලපාන්නටත් පුළුවන්. සමහර දරුවන්ට කුඩා කලදීම මල පිට නොවීමේ ගැටලු පවතිනවා. තවත් සමහර දරුවන් හරි ඉරියව්වලින් මල පහ කිරීමට ඉඳ නොගැනීමත් දක්නට පුළුවන්. මේ හැර, ජලය අඩුවෙන් පානය කිරීමත් මෙහිදී බලපෑ හැකියි. කිරි ආහාර එහෙමත් නැතිනම් කැල්සියම් සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම නිසාත් මෙසේ විය හැකියි. ව්‍යායාම් අඩුකමත් මෙයට බලපෑ හැකියි. එහෙත් කුඩා දරුවන්ටත් මල පහ පිටවීම පහසු කරවන සිරප් ආදී ප්‍රතිකාර වෛද්‍යවරුන්ට නියම කළ හැකියි. දියර ආහාර, කොළ කැඳ ආදිය ගැනීමත් නොඅඩුව ව්‍යායාමයන්හි යෙදීමත් සමඟ ඖෂධ, ප්‍රතිකාර ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා.
මැහුම් දැමූ තැන් හරි ගිහින් නෑ
ප්රශ්නය – වසර 5කට පමණ පෙර මාගේ වයස අවුරුදු 16ක් වන පුතුගේ උදර ප්‍රදේශයේ ශල්‍යකර්මයක් කළා. ඉන්පසුව එයින් ඇතිවූ මැහුම් කැළැල් නැවත කලක් යන තුරුත් විහිදී සාමාන්‍ය තත්ත්වයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට ගැටිත්තක ආකාරයෙන් උදරයේ එය ඝනව පවතිනවා. දැනටත් උසට උදරයේ එය පවතිනවා. අතට තදින් අසුවන එය මෙතෙක් කලක් සම මතුපිට සාමාන්‍ය පරිදි පැතිරී නොයෑම ගැටලුවක්. වේදනාවක් නැතත් මේ තත්ත්වය යළි සාමාන්‍ය පරිදි වීමට නොහැකිද?
පිළිතුර – ශල්‍යකර්මයකින් පසුව එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. හීලොයිඩ් තත්ත්වයන් ලෙස එය හඳුන්වනවා. මේ සඳහා අතිශයින් සාර්ථකම ප්‍රතිකර්ම නොවුණත් විශේෂ ශල්‍යකර්ම ආදිය කෙරෙහි යොමු විය හැකියි. ඒ පිළිබඳ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු හමුවී උපදෙස් ගැනීම වැදගත්.
දියණියට පණු බෙහෙත් දෙන්නද?
ප්රශ්නය – අවුරුද්දකුත් මාස තුනක් වන මාගේ දියණියට පණු බෙහෙත් දීමට මා පෙලඹුණත් වෛද්‍ය උපදෙස් ලැබුණේ එය අවුරුදු එකහමාරේදී දෙන එන්නත දීමෙන් පසුව දෙන ලෙසයි. දියණිය ඇතැම් විට උදරාබාධ තත්ත්වයකින් පෙළෙන බවත් දක්නට ලැබෙනවා. උදරාබාධ වෙනත් රෝගී තත්ත්වයන්හි ලක්ෂණ වශයෙන් ඇතිවිය හැකිද?
පිළිතුර – වෙනත් රෝග තත්ත්ව නිසාත් උදරාබාධ ඇතිවිය හැකියි. එසේම, උදරයේ ආබාධ කලින් සඳහන් කළ පරිදි මල බද්ධය, මූත්‍ර ආසාදන ආදී හේතු මෙන්ම කලාතුරකින් ආහාර මාර්ගයේ ඇඹරීම් ආදිය නිසාත් කුඩා දරුවන්ට උදරාබාධ ඇතිවන්නට පුළුවන්. කුඩා දරුවන්ට පවා ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් ඇතිවිය හැකියි. පණු අමාරුවට අමතරව මල බද්ධය මෙහිදී විශේෂ හේතුවක් බවත් කිව යුතුයි.
ඉන්ෆ්ලුවෙන්සාවෙන් පසුවත් ගැටලු එනවාද?
ප්රශ්නය – ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වැලඳීමෙන් පසුව මාගේ 10 හැවිරිදි දියණියට තවමත් එහි අතුරු බලපෑම් ඇතැයි පෙනෙනවා. නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම, උණ ගතිය, කැස්ස, ඇඟට පණ නැති ගතිය ආදිය දක්නට ලැබෙනවා. එසේම විශේෂයෙන්ම හතිය ගතියක් දක්නට ලැබෙනවා.
පිළිතුර – ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වැලදී සුවවූ පසුව නැවත කලක් යන තුරු එහි බලපෑමක් ඇතිවේ යැයි නිශ්චිතව කිව නොහැකියි. එසේම ඉන්පසුව ළමා හතිය වැනි තත්ත්වයක් වැලඳෙතැයි නිශ්චිතවම කිව නොහැකියි. සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් දරුවාට ප්‍රතිකාර ලබා දෙන්න.
නියමලේ තුවාල වේදනාකාරියි
ප්රශ්නය – මාගේ පාදයක නියමලක වේදනාවක් මාස කිහිපයක සිටම පවතිනවා. දැන් එහි වර්ධනය වීමක් දක්නටත් පුළුවන්. එසේම, ඊට විෂබීජ යතැයි බියට පත්වී සිටින මා නිතරම සපත්තු පැලඳීමටත් හුරුවී සිටිනවා. මෙය නුසුදුසුද? එසේම මෙයින් මාහට සුවය ලබා ගැනීමට අනුගමනය කළ යුතු දේ මොනවාද?
පිළිතුර – නියමල හානි වෙලා නම් එතැන දිලීරයක් හැදිලාද, බැක්ටීරියාවක් හැදිලාද ආදී වශයෙන් බැලිය යුතුයි. සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පෙන්වීමට කටයුතු කරන්න. නිතර සපත්තු පැලඳ සිටීමේ ගැටලුවක් නොමැති වුවත් පාද නිතර සෝදා පිරිසුදු කර තබා ගැනීම වැදගත්. නිය ඇතුළතට වන්නට ගැටලු ඇති වන තත්ත්වයකුත් ඇති නිසා නිවැරුදි අයුරින් නිය කැපීමට වග බලා ගැනීමත් වැදගත්.
උපදෙස් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
නුවන් ජයවික්‍රම