කුඩා කාලයේදීම මොළයට ඉගැන්වීමේ තෙරපි කළහොත් එය සාර්ථක වෙනවා
වැඩියෙන්ම බලපාන්නේ ජාන වුවත් පාරිසරික හේතුන් ද බලපෑ හැකියි
කුඩා කාලයේදීම හඳුනා ගැනීම සහ වෛද්‍ය උපදෙස් මඟින් ඔටිසම් තත්ත්වය සුවපත් කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාගම ආයති මධ්‍යස්ථානය සහ වතුපිටිවල මූලික රෝහලේ ප්‍රජා ළමා සංවර්ධන සායනයේ ප්‍රජා ළමා විශේෂඥ වෛද්‍ය දිලිනි විපුලගුණ මහත්මිය සමඟ අපි දැන් කතාබහ කරමු.
ඔටිසම් කතාබහ කළ යුතුම තත්ත්වයකට ඇවිත් නේද?
ඔව්. පසුගිය වසර 20 තුළ ඔටිසම් රෝගය 300% ක වැඩි වීමක් සිදුව තිබෙනවා යැයි ලොව පුරා සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ රෝග තත්ත්වයේ යම් වැඩිවීමක් හෝ ඔටිසම් රෝගීන් හඳුනා ගැනීමේ වැඩිවීමක් තිබිය හැකියි. ඒත් 300%ක් කියන්නේ සැලකිය යුතු අවදානම් තත්ත්වයක්. ඒ නිසා එම රෝගය පිළිබඳ වැඩිපුර කතාකරන්න සිදුවෙලා තිබෙනවා.
වර්ෂ 2008 දී අමෙරිකාවේ 88දෙනෙකුගෙන් එක් අයකුට ඔටිසම් රෝගය තිබෙන තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ ඒ කාලෙදී සිදුකළ පර්යේෂණයකදී ළමුන් 93 දෙනෙකුගෙන් එක් අයකුට ඔටිසම් රෝගය තිබෙන බව සොයා ගැනුණා. අපේ රටේ මෑතකදී සිදු කළ පර්යේෂණ නොමැති වුවත් ලැබෙන දත්ත අනුව අපි උපකල්පනය කරන්නේ ළමුන් 30-40කට එක් අයකුට ඔටිසම් රෝගය තිබෙනවා කියලයි. ඒ කියන්නේ පන්ති කාමරයක ඔටිසම් දරුවන් එක් අයෙක් හෝ දෙදෙනකු වශයෙන් සිටිය හැකි තත්ත්වයක්.
තවදුරටත් විස්තර කළොත්?
ඇත්තෙන්ම, අපේ මොළයේ පදනම සෑදෙන්නේ පළමු අවුරුදු කිහිපය තුළදීයි. ඒ කාලයේදී ඇතිවන වෙනස්කම් අපේ ජීවිත කාලය පුරාවටම බලපානවා. අපේ අධ්‍යාපනය, රැකියාව, සමාජ සබඳතා පවත්වන ආකාරයට මේ වෙනස්කම් බලපාන්නත් පුළුවනි. ඔටිසම් ඇතිවීමට වැඩියෙන්ම බලපාන්නේ ජාන වුවත් පාරිසරික හේතුන් ද බලපෑ හැකියි.
ලෝකය දකින ආකාරය, කෙනෙකු සමඟ සම්බන්ධ වන ආකාරය අනුව, සමාජ සබඳතාවන් හදාගන්නා ආකාරය අපි දකින සාම්ප්‍රදායික රාමුවට වඩා වෙනස් වීම මූලිකව ඔටිසම් ලෙස හඳුනා ගන්නවා. ඒ වගේම මේ රෝගීන්ගේ රුචිකත්වයේ ස්වභාවය අනුව, එකම දෙයක් නැවත නැවත කිරීම සහ එකම දෙයකට දක්වන රුචිකත්වය තවත් රෝග ලක්ෂණයක් ලෙසත් හඳුනාගත හැකියි.
මෙය හඳුනා ගැනීමේ වැදගත්කම ගැනත් කිවුවොත්?
මොළයේ සංවර්ධන වෙනස්කම් කුඩා අවධියේදීම හඳුනාගැනීමෙන් ඔවුන් මුහුණපාන අපහසුතා හඳුනාගැනීමටත්, මොළයට ඉගැන්වීමටත් හැකියාව ලැබෙනවා. ඔටිසම් තෙරපි මඟින් අපි කරන්නේ අපහසුතාවලට මුහුණදෙන හැකියාවත් මොළයට සාර්ථකව සන්නිවේදනය කිරීමටත් ඉගැන්වීමම තමයි. කුඩා කාලයේදීම එහෙම නැතිනම් මොළය ඉගෙන ගන්නා කාලයේදීම මොළයට ඉගැන්වීමේ තෙරපි කළහොත් එය බොහෝ සාර්ථක වෙනවා. ඒ නිසා කුඩා කාලයේදීම ඔටිසම් හඳුනාගැනීම තමයි හරිම වැදගත්.
වැඩිහිටියන් නිසි අවධානයෙන් සිටියහොත් පළමු අවුරුද්දේදීම ඔටිසම් හඳුනාගත හැකියි. වෛද්‍යවරයාට, මව හෝ පියා මේ තත්ත්වයන් පිළිබඳ සැක සිතීමට හැකියාව තිබෙනවා. ඒත්, මේ අවස්ථාවේදී වඩාත්ම වැදගත් වන්නේ දරුවාගේ සංවර්ධනය පිළිබඳ සැලකිලිමත් වීමයි. දරුවා මගේ දිහා බලනවා ද, හිනාවෙනවා ද, අනිත් දරුවන් වගේ පොඩිකාලෙදි හැසිරෙනවා ද, කතා කරනවා ද ආදී දේවල් ගැන සැලකිල්ලෙන් සිටිනවා නම් සොයාගැනීමට හරිම පහසුයි. අපේ ළමා සංවර්ධන සායනවලදී මවුපියන්ට මේ සඳහා හොඳ මඟපෙන්වීමක් ලබා දෙනවා.
සමාජ දැනුම්වත් කිරීමක් ලෙස ප්‍රධාන ලක්ෂණ තුනක් දැනට කියනවා නම්, අපි පුංචි කාලෙදි අම්මයි තාත්තයි සමඟ ලෝකය ගැන ඉගෙන ගනිද්දී ප්‍රශ්න කරන්නත් කැමැතියි. ඇඟිල්ල දිගුකර සැක තැන් විමසනවා. ඒවගේම ඒ අය ‘අර මොකක් ද, බෝලයක් ද, මලක්ද කියා පෙන්වා අහන අවස්ථාවලදී ඒවාට පිළිතුරු දෙන්නත් ආසයි. ඒ ආකාරයෙන් දරුවෙක් සංඥාවක් පාවිච්චි කරලා ඇඟිල්ල දිගු කරලා විමසීම් කරන්නේ නැතිනම් පළමු මාස 15 ඇතුළදීවත් සිදු කළේ නැතිනම්, එය ඔටිසම්වල මූලික ලක්ෂණයක් ලෙස සලකනවා.
වැඩිදුරටත් එම ලක්ෂණ ගැන දැන් කතා කරමු?
දරුවා ගෙදරට කතා කරන නමට පළමුවෙනි අවුරුද්ද ඇතුළතදී ප්‍රතිචාර දක්වන්නේ නැතිනම් ඒක ඔටිසම්වල අවදානම් ලක්ෂණයක්. දරුවන් මුල් අවධියෙදී විවිධ දේවල් අරගෙන ඒවාට ප්‍රතිචාර දක්වනවා. උදාහරණයක් විදියට පොඩි කාලෙදී කෝප්පයක් දුටු විට ඒකෙන් බොන්න බලනවා, කාර් එකක් දැක්කම ඒක තල්ලු කරන්න පටන් ගන්නවා. ඒවගේම ටික කාලයකදී ඒ අය මවාපාලා සෙල්ලම් කරන්න ගන්නවා. උදාහරණයකට බෝනික්කෙක් අරගෙන කවලා, නිදිකරවලා මවාපෑමෙන් සෙල්ලම් කරනවා. දරුවෙක් පළමුවැනි මාස 18 දී (අවුරුදු එකහමාරකදී) ඒවගේ මවාපාලා තමන්ගේ නිර්මාණශීලීත්වය එකතු කරලා සෙල්ලම් කරන්නේ නැතිනම් ඒකත් ඔටිසම්වල මූලික තත්ත්වයක්.
මේ කාරණා තුන ගතහොත් දරුවන්ගෙන් එවැනි ලක්ෂණ පෙන්වන්නේ නැතිනම් සංවර්ධනයේ වෙනසක් අවබෝධ වෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්නැයි මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ලෝකයා සොයාගෙන තිබෙන්නේ දරුවා හොඳින් සැහැල්ලුවෙන් සිටින නිවෙසේ පරිසරයේදී මේ ඉගැන්වීම් කිරීම වඩාත් ඵලදායී බවයි. විශේෂයෙන්ම ඒ පවුලේ අය සමඟ සිටියදීයි. අනෙක, විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානවලදී අපි කරන්නේ අම්මා, තාත්තා හෝ ආච්චි ආදී වශයෙන් දරුවා වැඩියෙන්ම කාලය ගත කරන තැනැත්තාව ඒ සඳහා පුරුදු පුහුණු කිරීමයි. ඇත්තෙන්ම, මවුපියන් දරුවාගේ කුසලතා හඳුනා ගන්නේ කෙසේදැයි පුහුණු කරද්දී අවධානය යොමු කරන්නේ නිවෙසේදී දරුවා සමඟ එම කුසලතා වර්ධනය කිරීමයි.
නිතර දක්නට ලැබෙන ගැටලු ගැනත් කියමු ද?
ඔටිසම් රෝග ලක්ෂණ හඳුනාගෙන වෛද්‍යවරුන් මවුපියන්ට උපදෙස් දීමේදී 80%ක්ම දරුවාට ඔටිසම් යැයි පිළිගන්නට කැමැති නැහැ. ඔවුන් වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා පැමිණෙන්නේ නෑ. දරුවාගේ වෙනසක් කියන්නේ, අපේ දරුවාට අඩුවක් තිබෙනවා යැයි මවුපියන් සිතනවා. ඒත් වෙනසක් කියන්නේ දරුවාට අඩුවක් නොවෙයි කියලා මවුපියන්ට පැහැදිලි කර දිය යුතුයි. අඩුවක් යැයි හිතනතාක් දරුවා ප්‍රතිකාර සඳහා යොමු කරන්නට මවුපියන් බොහෝ කාලයක් ගත කරනවා. තව ටික දවසක් ඉන්නවා ඔවුන් දරුවා සෙල්ලම් කරයි, දරුවා කතා කරයි වගේ බලාපොරොත්තුවෙන්. අපේ දරුවාත් පරක්කු වුණා, ඒ නිසා දරුවාත් පරක්කු වෙලා කතා කරයි කියලා සමහර අවස්ථාවලදී දරුවාගේ ආච්චි අම්මා ආදීනුත් කියනවා. ඇතැමුන් ප්‍රතිකාර සඳහා යොමු කරවීමටත් මේ විදියට බාධක එනවා.
තවත් සමහර අවස්ථාවලදී අම්මා දරුවාගේ වෙනස්කම් හඳුනාගත්තත්, දරුවාගේ තාත්තා ඒක පිළිගන්න කැමැති නැහැ. ඒ නිසා අපේ සායනවලට අපි මව වගේම පියාවත් ගෙන්වාගෙනම මේ පිළිබඳ දැනුම්වත් කරනවා.
ඉරෝෂා දීපානි