Home » සුරතලුන් ලෙඩින්ද? සුවයට මඟ මෙන්න

සුරතලුන් ලෙඩින්ද? සුවයට මඟ මෙන්න

by sachintha
May 12, 2025 1:15 am 0 comment

අලුත බලු පැටියෙක් හෝ පූස් පැටියෙක් ඉපදුණු පසුව අම්මා සිටියි නම් අම්මාගේ කිරිම දෙන්න පුළුවන්. අම්මා අසනීප වෙලා කිරි දෙන්න අපහසු තත්ත්වයක සිටියි නම් එළු කිරි පැටවුන්ට දුන්නාට කමක් නැහැ. අම්මා ගොඩාක් දුර්වල නැත්නම් අම්මාගේ කිරිත් එක්ක වෙනත් කෘත්‍රිම කිරි වර්ගයක් දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් සතෙක් හදනවා නම් වගකීමෙන් යුතුව එය කළ යුතුයි. එයාගේ නිසි වයසට ගැළපෙන ලෙස නිසියාකාරව පණු බෙහෙත් දීලා එන්නත් කළ යුතුයි. කිසි ගැටලුවක් නැතිව නීරෝගි පැටවුන් ලබා ගත හැක්කේ එවිටයි. එයාලගේ මැක්කෝ කිනිතුල්ලන් සිටින්නේ නම් අයින් කළ යුතුයි. ගැබිනි කාලයේ දිය යුතු විටමින් වර්ග ද තිබේ. වෛද්‍යවරයා වෙත ගෙන ගොස් අදාළ විටමින් වර්ග එහෙම වෛද්‍ය උපදෙස් අනුව දිය යුතුයි. අවශ්‍ය නම් වෛද්‍යවරයා රුධිරය පරීක්ෂා කර ස්කෑන් කිරීම් පවා සිදු කරනවා. අම්මාගේ පැටවු සංඛ්‍යාව වැඩි නම් වෛද්‍ය උපදෙස් අනුව සැත්කම් කළ හැකියි. අම්මාට පැටවුන්ට කරදරයක් නොවන ලෙස වෛද්‍ය ප්‍රතිකාර ගත හැකියි.

බලු පැටියෙක් නම් පාවෝ, ඩී.එච්.එල්., ජලභීතිකා ලෙස මූලික එන්නත් ලබා දිය යුතුයි. එහි දෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එක ද ලබා දිය යුතුයි. සාමාන්‍යයෙන් පැටියා ඉපිද දවස් 35ත් 42ත් අතර මේවා ලබාදිය යුතුයි. පළමු එන්නත ලෙස පාවෝ එන්නත ලබා දී දවස් 10ක් 14ක් ගත වූවාට පසුව දෙවැනි එන්නත ලෙස ඩී.එච්.එල්. (ඩිස්ටෙම්පර්, හෙපටයිටිස්, මී උණ) ලබා දිය හැකියි. පසුව ජලභීතිකා එන්නත දෙනවා. ජලභීතිකා එන්නත ලබා දී දින 10කට 14කට පසුව පාවෝ එන්නතේ දෙවැනි මාත්‍රාව දෙනවා. එය ලබාදී දින 10ක් 14ක් ගියාට පසුව ඩී.එච්.එල්. දෙවැනි මාත්‍රාව දෙනවා. එය ලබාදී දින 10ක් 14ක් ගත වූ පසුව ජලභීතිකා දෙවැනි මාත්‍රාව දෙනවා.

අනෙක, බලු පැටියාට මෙහෙම ලබාදෙන්නේ පැටියාගේ අම්මා හොඳ එන්නත්කරණයකින් යුක්ත නීරෝගි කෙනෙක් නම් පමණයි. අම්මා නොදන්නා පැටියෙක් නම් ඒ පැටියාට පළමුව දෙන්නේ ජලභීතිකා එන්නත. මොකද සාමාන්‍යයෙන් සතෙකුට අම්මාගෙන් එන ප්‍රතිශක්තිය මාස දෙකකදී අඩු වේගෙන යනවා. පූස් පැටියෙක් ඉපිද මාස දෙකක් පමණ ගත වන විට ට්‍රයි කැට්, එන්නත දිය යුතුයි. අම්මා නොදන්නා පැටියෙක් හදන්න ගන්නේ නම් ජලභීතිකා එන්නත තමයි පළමුව දෙන්නේ. නීරෝගි හොඳ සෞඛ්‍යයෙන් යුත් සතුන් තමයි එන්නත්කරණයට ලක් කරන්නේ. පූසන්ට මාස දෙකේදී ‘ට්‍රයි කැට්’ එන්නත ලබා දිය යුතුයි. ඉන් feline panleukopenia (FPL), feline viral rhinotracheitis, feline calciviral desease ආරක්ෂා වෙනවා. සාමාන්‍යයෙන් පූසන්ට feline calciviral එක වැලඳෙනවා. එහිදී කබ කඳුළු ගලන්න ගන්නවා. නාසයෙන් සොටු එන්න ගන්නවා. කහ පාටට එය ඝන වෙනවා. දිවේ තුවාලත් ඇති වෙනවා. ඒකත් එක්ක feline viral rhinotracheitis හැදෙන්නත් පුළුවන්. එහිදීත් මේ රෝග ලක්ෂණම පෙන්වනවා.

ගම්පහ, ගණේමුල්ල පශු රෝහලේ වෛද්‍ය

අෂාන් ලංකා හේවාගම

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT