Monday, May 12, 2025
Home » සංහිඳියාවේ හොඳම වෙසක් සැමරුම මෙයයි

සංහිඳියාවේ හොඳම වෙසක් සැමරුම මෙයයි

-බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

by sachintha
May 12, 2025 1:50 am 0 comment

දුරදැක්මක් සහිත මේ රජයට සත්‍ය හා අවංකව සංහිඳියාව මහ පොළොවේ පැළ කිරීමට හැකියාව ලැබෙනවා. බුදුන් වහන්සේගේත්, ජේසුස් වහන්සේගේත්, නබිතුගේත් පණිවිඩය ඒකයි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පෙරේදා (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේදී ආරම්භ කෙරුණු අතර, මේ මස 16 වැනි දින දක්වා මෙය පැවැත්වේ. මේ පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.

අපේ රටේ ආගමික සහ සංස්කෘතික උත්සවයක් ලෙස හැඳින්වෙන වෙසක් උත්සවය ගැන කෙටියෙන් සඳහන් කළොත්?

වෙසක් පුන් පොහෝ දිනය අපි සලකන්නේ බෞද්ධ ජනතාවගේ පොහොය දින මාලාවේ තිබෙන උතුම්ම පොහොය හැටියටයි. වෙසක් පොහොයේ වැදගත්කම ගැන දීර්ඝව කතා කළ යුතු නෑ. ඒක චිරප්‍රකට කාරණයක්. සම්බුදු තෙමඟුල කේන්ද්‍ර කරගෙන තවත් වැදගත් කරුණු රාශියක් සමඟ අපි වෙසක් උත්සවය සමරනවා. ශ්‍රී ලංකාව සලකන්නේ බුදුන්ගේ මේ ශ්‍රී සද්ධර්මය සියවස් ගණනාවක් අඛණ්ඩව, ශාස්ත්‍රීයව, ලිඛිතව, පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිතව පවතින දේශයක් හැටියටයි. ක්‍රිස්තු පූර්ව 237 මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුග්‍රහයත් සමඟ අනුරාධපුරයට මේ උතුම් ධර්මය ලැබුණා නම් එතැන් සිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ ධර්මය ස්ථාපිත කිරීම, රැකබලා ගැනීම සහ ව්‍යාප්ත කිරීම අපේ රටේ සිදුව තිබෙනවා.

මේ හා බැඳුණු රාජධානි, කලා සංස්කෘතික උරුමයන්, පිරිවෙන් ස්ථාන, පුස්කොළ පොත්වල ලියවුණු ශ්‍රී සද්ධර්මය සහ ත්‍රිපිටකය සම්බන්ධ ඉතිහාසය, අභයගිරිය, ජේතවනය, මහා විහාරය ආදී විහාරාරාමවල අඛණ්ඩව පැවත ආ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර, පිරිවෙන් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය, පාසල් පද්ධතිය මේ සියල්ලෙහිම බුදු දහමේ වැදගත්කම සහ වෙසක් පොහොයේ සම්බන්ධය ගැබ්වෙලා තියෙනවා, උගන්වනවා, හදාරනවා. එනිසා අඛණ්ඩව සැමරූ මේ බෞද්ධයන්ගේ මහා මංගල්‍ය රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්මරණය කළ යුතුයි කියන එක මේ මොහොතේ අපේ රජය කල්පනා කරනවා. එතැනදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මැදිහත්වීමෙන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියන ආයතනවල සංවිධාන ශක්තියෙන් මෙවරත් වෙසක් රාජ්‍ය මංගල්‍යය නුවරඑළියේදී පැවැත්වෙනවා.

වෙසක් රාජ්‍ය මහෝත්සවය නුවරඑළිය කේන්ද්‍ර කරගෙන පවත්වන්නේ පොදු සම්මුතියකට අනුවද?

ඔව්.වෙසක් රාජ්‍ය මහෝත්සවය මෙරට දිස්ත්‍රික්ක අතරේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒක ශාසනාරක්ෂක බලමණ්ඩල ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා, සභාපති ස්වාමීන් වහන්සේලා ඇතුළු අපේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් එකතුවී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට අවුරුදු දෙක තුනක් මේ පළාත්වල තමයි, වෙසක් උත්සවය පැවැත්වෙන්නේ කියලා පොදු සම්මුතියකට ඇවිත් තිබුණා. ඒ අනුව පුත්තලමේ සහ මාතලේ පසුගිය රාජ්‍ය වෙසක් උත්සව පැවැත්වුණා. ෙමවර නුවරඑළියේ පවත්වනවා.

වෙසක් රාජ්‍ය මහෝත්සවයේ දින හයක පමණ සැමරුම් උත්සව මාලාවට අමතරව ඒ පළාතේ පාසල්, දහම් පාසල්, විහාරස්ථාන ආදී බෞද්ධ කේන්ද්‍රයන් රැසක් දියුණු කෙරෙනවා. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන දෙනවා. එනිසා තමයි අපි මේ උත්සවය රට වටා ගමන් කරවන්න තීරණය කර තියෙන්නෙ. වෙසක් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව කෙරෙන ප්‍රබෝධය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මාරුවෙන්න ඕනෙ.

මෙවර වෙසක් උත්සවයේ තේමාව වන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම කාලීන වශයෙන් වැදගත්වූවක්?

‘භජේත මිත්තේ කල්‍යාණේ’ කියන පාලි පදයේ තේරුම තමයි ‘කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම’. මේ තේමා පාඨය ඉතාම වැදගත්, කාලීන, ධර්මයට එකඟවූවක්. එය මේ යුගයට ඉතාම වටිනවා. ලංකා සමාජයේ කල්‍යාණ මිතුරන් මිතුරියන් ඉතාම හිඟ වකවානුවක් මේ. එතැනදී සිංහල, දෙමළ, මුස්ලිම් වෙන්න පුළුවන්, උඩරට, පහතරට වෙන්න පුළුවන්, උතුරු නැඟෙනහිර වෙන්න පුළුවන් ජාති භේදයෙන්, කුලමලයෙන් තොරව කල්‍යාණ මිතුරන් ඉන්න ඕනෙ. නමුත් අපි දන්නවා, පාසල් සහ විශ්වවිද්‍යාල දරුවන්ට අද තමන්ට ඇහුම්කන් දෙන කල්‍යාණ මිතුරන් නෑ. තමන්ගේ කතාව කියාගන්න, එයට සවන් දෙන්න මිතුරෙක් මිතුරියක් නෑ. ඒ නිසාම දිවි නසා ගැනීම්, සමාජ අසහන කොතරම් වැඩි වෙලා තියෙනවා ද? මේ තේමාව අදට ඉතාම ගැළපෙන්නේ ඒ නිසයි.

මගේ පෞද්ගලික අදහස අනුව මේ තේමා පාඨය නුවරඑළියට වඩාත් ගැළපෙනවා. එයට හේතුව තමයි, නුවරඑළිය කියන්නේ සිංහල සහ දෙමළ ජාතීන් බහුලව සමගියෙන් ජීවත්වෙන පළාතක්. අපේ වැඩසටහන් මාලාව ඇතුළේ පවා බෞද්ධ භක්ති ගීතවලට අමතරව හින්දු භජන් ගීත යොදාගෙන තියෙනවා. දෙමළ දරුවන් සමඟ අපි වෙසක් කූඩු හදනවා. තිස් වසරක යුද්ධය නිසා මේ ජාතීන් දෙක කල්‍යාණ මිත්‍රතාව අතහැරියා. දැන් අපි මේවා නැවත වර්ධනය කර ගන්න ඕනෙ. ජාතිවාදයට, ආගම්වාදයට නැවත හිස ඔසවන්න දෙන්න හොඳ නෑ කියන එක අපේ රජය දැඩිව විශ්වාස කරනවා. ඒ සඳහා බිම් මට්ටමටම බැහැලා අපේ පුරවැසි ප්‍රජාව අතරටම ගිහින් මේ ඇත්ත සංහිඳියාව වෙනුවෙන් වැඩ කරන එක රජයේ වගකීමක්. නුවරඑළිය දමිළ ජනතාව ජීවත් වන පළාතක් හැටියට අධිනිශ්චය වුණාට පන්සල් 336ක් සහ පිරිවෙන් 11ක් තියෙනවා. බැලූ බැල්මට කෙනකුට එහෙම හිතන්නේ නෑ.

නුවරඑළියේ වසර හතරෙන් හතරට පවත්වන තේරු මංගල්‍යය මේ වකවානුවේ තියෙනවා. එනිසා අපේ බෞද්ධ තොරණ පවා ඉදිකළේ වේල් කරත්තවලට පාරෙ යන්න ඉඩ තියලා, උස සලකලා. මේක බහු ජාති, බහු සංස්කෘතික සමාජයක්. ඉතාම සමඟියෙන් ජීවත්වෙන හැටි ලෝකෙට සහ එකිනෙකාට ඒත්තු ගන්වන්න තියෙන හොඳ මොහොතක් මේ.

මීට සමගාමීව සිදුවන අනෙකුත් වැඩසටහන් මොනවාද?

මෙය ඉතා විශාල වැඩපිළිවෙළක්. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයත් කාලයක් පුරා වැඩ කර සම්මත කර ගත් උත්සව මාලාවක් මේක. පෙරේදා (10) ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී වෙසක් රාජ්‍ය උත්සවය ආරම්භ කළා. කොත්මලේ මලියදේව පුරාණ රාජ මහා විහාරය සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමි බවට පත් කිරීම ද මෙහිදී සිදු වුණා. මීට සමගාමීව දිවයින පුරාත් උත්සව මාලාවක් ක්‍රියාත්මක වෙනවා.

මෙහි ඉතා වැදගත් අංගයක් වන්නේ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්. මෙය තේමා හතක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහනක් නුවරඑළියේ ක්‍රියාත්මක වෙනවා. කල්‍යාණ මිතුරන් හැටියට ගස්වැල් පවා සලකන්න ඕනෙ. පරිසරය කල්‍යාණ මිත්‍රයෙක් හැටියට සැලකුවොත් අපට බැහැ පරිසරය සිඳින්න.

පොහොය දිනය වෙනුවෙන් අද (12) විශේෂ වැඩසටහන් සංවිධාන කර තියෙනවා. ඒ අතර සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන් සහ “සිල් සුවඳයි හෙළ දිවියයි” කියන තේමාව යටතේ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් කේන්ද්‍ර කර ගත් වැඩසටහන් ප්‍රධානයි.

මේ වැඩසටහන් තුළ පිණ්ඩපාත චාරිකා තිබෙනවා. භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වඩින දර්ශනය නුවරඑළියට විශේෂිත දසුනක් වේවි. නූතනම නූතන ජීවිත ගත කරන දරුවන් මේවා දැක නෑ. මෙයින් අල්පේච්ඡ ජීවිතය සහ පිණ්ඩපාත ජීවිතය කියන එකේ විශේෂත්වය දකින්න ලැබෙනවා. මේ වකවානුවේ තායිලන්ත භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩමවීම නිසා උන්වහන්සේලා පවා මේවාට සම්බන්ධවීම වීම විශේෂත්වයක්.

බඹරකැලේ විහාරස්ථානයේ වාහල්කඩ සහ තොරණ විවෘත කිරීම, භික්ෂුන් වහන්සේලා පන්සිය නමකට දහවල් දානය පිරිනැමීම, නුවරඑළිය නගරයේ මත්ද්‍රව්‍ය නිවාරණ බැනර් සහ අත්පත්‍රිකා මඟින් ජනතාව දැනුම්වත් කිරීම, හඟුරන්කෙත පොත්ගුල් මාලිගා මහා විහාරයේ විශේෂ අටවිසි බුද්ධ පූජා වැඩසටහනක්, මිල්දණ්ඩාහින්න ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ දරුවන් සඳහා කාලීන වශයෙන් ඉතා වැදගත් ආතති කළමනාකරණ වැඩසටහනක්, සමරු මුද්දර නිකුත් කිරීම (නුවරඑළියේ ඓතිහාසික විහාරස්ථානවල දුර්ලභ චිත්‍ර), බොදු ගීත ගායනා වැඩසටහනක් ආදිය ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘පුණ්‍යග්‍රාම’ වැඩසටහන විශේෂයි. මෙය ක්‍රියාත්මක කරන්නේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුල්කරගෙනයි. සර්වඥ ධාතු ප්‍රදර්ශන, කටුමාන විහාරස්ථානය කේන්ද්‍රකරගෙන වෛද්‍ය සායනයක්, මීපිලිමාන මුස්ලිම් පල්ලිය මුල්කරගෙන රුක්රෝපණ වැඩසටහනක්, නෝර්වුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භික්ෂූණ් වහන්සේලා සියක් නමක් පිණ්ඩපාතයේ වැඩමවීම, ගිනිගත්හේන නගරයේ දහම් පාසල් දරුවන්ගේ භක්ති ගීත වැඩසටහනක් ආදියත් පැවැත්වෙනවා.

තවත් විශේෂ වැඩසටහනක් වන්නේ දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් දෙමළ මාධ්‍යයෙන් ධර්ම දේශනා පැවැත්වීමයි. මෙය දුර්ලභ අවස්ථාවක්. දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කරන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අඩුයි. ‘භජේත මිත්තේ කල්‍යාණේ’ කියන කාරණය දෙමළ ජනතාවට සම්ප්‍රේෂණය කරන්න මේ වැඩසටහන අවශ්‍යයි. වලපනේ, වටවක්ගොඩ රාජමහා විහාරස්ථානය මුල්කරගෙන යෞවන යෞවනියන් 250ක් වෙනුවෙන් දේශන, රසවින්දන, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් ආදියත් සූදානම් කර තියෙනවා.

ඒ වගේම ස්වාමීන් වහන්සේලා සහ සිල්මාතාවන් සඳහා දේශීය වෛද්‍ය සායනයක්, ත්‍රිරෝද රථ රියැදුරන් සම්බන්ධ කරගෙන හදිසි අනතුරු ප්‍රථමාධාර ගැන දැනුම්වත් කිරීමක්, හඟුරන්කෙත මාදන්වල ධර්මෝදය පිරිවෙනේ කුලදරුවන් සසුන්ගත කිරීමේ පින්කමක් සහ නුවරඑළියේ ගාමිණී ජාතික පාසලේ දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහනක් සැලසුම් කර තියෙනවා.

රාජ්‍ය ධනය අය-වැය යටතේ සම්මත කරගෙන නියමිත පරිදි මිලියන සම්භාරයක් වැය කරන්න රජය තීරණය කර තියෙනවා. අවට විහාරස්ථානවල භෞතික සංවර්ධනයටත් ලක්ෂ සංඛ්‍යාත මුදලක් වෙන් කර තියෙනවා.

මේ වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නේ කවුරුන්ද?

ශාසනාරක්ෂක මණ්ඩලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිසාපතිතුමිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනාගේ දායකත්වයෙන් මේ කටයුතු සිදු කෙරෙනවා.

ශාසනාරක්ෂක බලමණ්ඩල හරහා විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් මහා ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ලබා දෙනවා. ඊට අමතරව වාර්ෂික වෙසක් රාජ්‍ය මහෝත්සවයට අය- වැයෙන් නිශ්චිත මුදලක් වෙන් කර තියෙනවා. ඒ රාජ්‍ය ධනය නිසි පරිදි රජයේ වියදම් කරන පටිපාටියට අනුකූලව වියදම් කරන්න කටයුතු කරනවා. ස්වේච්ඡාවෙන් උදව් කරන පින්වතුන්, වෙළෙඳ ව්‍යාපාරිකයන්, නුවරඑළිය කේන්ද්‍ර කර ගත් නොයෙකුත් පුද්ගලයන් මෙයට ශ්‍රද්ධාවෙන් උදව් කරනවා.

ජාතික ජන බලවේගය බලයට පත් වුණොත් ආගමික සංහිඳියාවට කිසියම් බලපෑමක් එල්ල වන බවට ඇතැමුන් නොයෙකුත් ප්‍රචාර ගෙන ගියා. ඒ ගෙනගිය ප්‍රචාර බොරු බව ඔප්පු කරන්න තියෙන හොඳම සාක්ෂියක් මේ?

රාජ්‍ය බලය ගිලිහිණු කණ්ඩායම ඉතාම නරක දුර්මතයක් පතුරවා හැරියා, ජාතික ජන බලවේගය බලයට පත්වුණොත් පෙරහර නතර වේවි, භික්ෂූන් වහන්සේලාට දන් වරදීවි, කඨිනය නැති වේවි, දළදා වහන්සේ අනතුරට වැටේවි කියලා. නමුත් මේ මාස හයක කාලයේ විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය මේ විෂය භාර අමාත්‍යාංශය හැටියට මේ වගකීම දරනවා. ඊට අමතරව ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම ඉතා වැදගත්. ප්‍රධාන වශයෙන්ම දළදා ප්‍රදර්ශනයක් ‘සිරි දළදා වන්දනාව’ නමින් වසර 16කට පසුව සංවිධාන කිරීම. පසුව මේ පවත්වන වෙසක් රාජ්‍ය මහෝත්සවය. ඊළඟට පොසොන් උලෙළ. මීට සමගාමී තෛපොංගල් ජාතික උත්සවය යාපනයට ලබා දුන්නා. මහා ශිව රාත්‍රී ජාතික උත්සවය රත්නපුර රත්නේෂ්වර කෝවිලට ලබා දුන්නා. මුස්ලිම් බැතිමතුන් 3500ක් සුපුරුදු විදියට හජ් වන්දනාවට මක්කම සඳහා යොමු කර තියෙනවා. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ අර දුර්මතය කොයිතරම් දුර්මතයක් ද කියන එකයි.

අපේ රටේ සංස්කෘතික මූලයන්, බහු සංස්කෘතික ප්‍රවේශය සමඟ අපි සියලු දෙනා සතුටින් සමගියෙන් ජීවත් කරවිය යුතුයි කියන දැක්ම සහිතව රජය මෙහෙයවන නිසා අර මත බොරු කරන්න අපට පුළුවන් වෙලා තියෙන්නෙ.

මේ වගේ දුරදැක්මක් සහිතව දීර්ඝකාලීනව මේ රජයට කටයුතු කරන්න පුළුවන් වුණොත් සත්‍ය, අවංක සංහිඳියාව මහ පොළොවේ පැළ කිරීමට හැකියාව අපට ලැබෙනවා. ඇත්තටම බුදුන් වහන්සේගේ පණිවිඩය, ජේසුස් වහන්සේගේ පණිවිඩය, නබිතුමාගේ පණිවිඩය ඒකයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ සහ ඇමැති මණ්ඩලයේ නිරවුල් මඟපෙන්වීමක් තියෙනවා. අපේ රටේ දීර්ඝ කාලයක් ආ අඛණ්ඩ සංස්කෘතික මැදිහත්වීම් තියෙනවා. මේ සියල්ල ඉවත විසි නොකොට හරියට පරිහරණය කළොත් අපට පුළුවන් වේවි නැවත වතාවක් ආගම හෝ ජාතිය පදනම් කරගෙන එකිනෙකා බෙදී සටන් කරන ලේ වැගිරුණු ඉතිහාසය කවර කලකවත් නැවත ඇති නොවෙන සමාජ වටපිටාවක් බිහි කරන්න. එනිසා මෙය හුදු උත්සවයකට සීමා නොකොට මේ මහා සිහිනය පොළොවේ පැළ කිරීමේ ප්‍රධාන පියවරක් හැටියට සලකන්න.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT