Monday, May 12, 2025
Home » යළි විමර්ශනයකට බලකෙරෙන මැතිවරණයක්

යළි විමර්ශනයකට බලකෙරෙන මැතිවරණයක්

by sachintha
May 12, 2025 1:22 am 0 comment

බොහෝ දෙනා ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව මෙම මැතිවරණ පසුබෑමට ආණ්ඩුවේ උද්ධච්චකම හේතුවී ඇතැයි ලියූ සටහනක් දුටුවෙමි. මා හිතන ආකාරයට උද්ධච්ඡකම ආණ්ඩු පක්ෂයේ පසුබෑමට හේතුවක් නොවේ. ජනාධිපතිතුමාගේ සරල හැසිරීම සමස්ත ආණ්ඩු ක්‍රියාවලිය පුරාම පැවතීම නිසා උද්ධච්චකම පිළිබ‍ඳ ගැටලුව පැන නොනඟී. මා දකින මේ පසුබෑමට පළමු හේතුව නම් ප්‍රාදේශීය මැතිවරණයකට අදාළව ගමේ නියොජිතයන් ගම සමඟ තිබූ දුරස්ථ සම්බන්ධයයි. එය කලක් ගතවිය යුතු ක්‍රියාවලියක් මෙන්ම වෙනත්ම හැඩයක් ගන්නා ප්‍රපංචයකි.

මේ රජය බලයට පත්වන තෙක්ම සාමාන්‍ය දේශපාලන ක්‍රියාවලියත් සාමාන්‍ය සිවිල් ක්‍රියාවලියත් පැවතුණේ දූෂණයට සංවේදී තමාම නොදැනුම්වත්වම එයට අනුගත වූ තත්ත්වයකි. මිනිසුන්ගේ ජීවන ක්‍රියාවලිය ගොඩනැඟී තිබුණේම ඒ අනුසාරයෙනි.

රජයේ සේවකයින්ගේ අනීතිකව හරිහම්බ කිරීම් එක්වරම ඇනහිටීම නිසා පරණ පුරුදු ජීවිතය අලුත් තත්ත්වය යටතේ පවත්වාගැනීම නොහැකි තරම් වූවකි. එයට නම් ආණ්ඩුවට කරන්නට දෙයක් නැත. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ ආදර්ශයන් ජනතාව ප්‍රබෝධයෙන් වැලඳ ගත්තත් එය ප්‍රමාණවත්ව තම ජීවිත හැඩගස්වා ගැනීමක් දක්වා මහජනයා තුළට කාවැදී නැත. බස් රථ හා ත්‍රීවීල් ආදියට පිළිවෙළක් නැතිව කරන්නට ගිය ප්‍රතිසංස්කරණ ඒවායින් යැපෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අන්දමන්ද කළේය. කළ යුතු ප්‍රතිසංස්කරණවල අගමුල පැටලීමත්, ප්‍රමුඛතා හඳුනා නොගැනීමත් පසුබෑමට තවත් හේතුවකි.

මා විශ්වාස කරන්නේම ආණ්ඩුව බලයට පත්වූයේම අරගලයේ ප්‍රතිඵලයක් ලෙසින් බවයි. අරගල ප්‍රබෝධකයින් බලාපොරොත්තු වූයේම ත්‍රීවීල් රියැදුරන්ගෙන් පටන්ගෙන හිටපු පාලකයින්ට දඬුවම් දෙන අවරෝහණ ක්‍රමයක් නොව ආර්ථික ඝාතකයන් ලෙස හඳුනාගත් පිරිස්වලින් පටන් ගන්නා ආරෝහණ ක්‍රමයකි. ශ්‍රේෂ්ඨාධිකරණයම ‘ආර්ථික ඝාතකයන්’ වශයෙන් නම් කරන ලද උදවිය නිදැල්ලේ සිටියදී ලක්ෂයේ හමාරේ වැරදිවලට ප්‍රමුඛත්වය දීම අපට පවා හිනා උපදවයි. අප දන්නා ඉතිහාසයේ සෑම ආණ්ඩුවක්ම පාහේ වරදකරුවන්ට දඬුවම් දීමට සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට එහා ගිය ක්‍රමයක් අනුගමනය කළේය. උදා:- අපරාධයුක්ති විනිශ්චය කොමිසන් සභාව. ආණ්ඩුවේ 2/3 ක බලය එවැනි කටයුතුවලට පාවිච්චි නොකිරීම පිළිබඳව සිටින්නේ කලකිරීමෙනි. ආණ්ඩුවේ උසස් තනතුරු ලැබූ මගේ මිතුරකු පවා පැවසුවේ එවැන්නකි. කාලය සමහර වැරදිකාරයන් නිවැරදිකාරයන් කරන සත්‍යය ආණ්ඩුව මීට වඩා වටහාගත යුතුය.

සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ වරනැ‍ඟෙන්නේම ග්‍රාමීය පදනමක් සහිත පක්ෂයක් ලෙසිනි. ඒ නිසාම එය පසුගාමී ජාතිකවාදයක ගිලුණු පක්ෂයක් ලෙස විරුද්ධවාදීන්ගේ ගැරහීමට පාත්‍ර විය. එහෙත් එය එසේ නොවන බවත් අතීතය කෙසේ වුවත් වර්තමානයේ එය බහුත්වාදය අගයන සෑම ජනකොටසකගේම ආකර්ෂණය දිනාගත් පක්ෂයක් බව පසුගිය මැතිවරණ දෙකේදී මෙන්ම මෙවර ද ඔප්පු කොට තිබේ.

විශේෂයෙන් අප වඩාත් ආස්වාදයට පත්වන කාරණය නම් හෝමාගම හා මහරගම යන ප්‍රාදේශීය සභාත් කොළඹ මහනගර සභාවත් ජයග්‍රහණය කිරීමය. 1953 ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා නගරාධිපති වෙමින් ලද ජයග්‍රහණයට පසුව එක්සත් ජාතික පක්ෂයේ නොවන කඳවුරක් ලෙස ජාතික ජන බලවේගය ලබන ජයග්‍රහණය කිසියම් ඓතිහාසික තත්ත්වයකි. එය ආණ්ඩුවට පමණක් නොව ජාතිවාදයෙන් තොර අනාගතයක් බලාපොරොත්තු වන සියල්ලටම වැදගත්ය. කොළඹ මහනගර සභා බලප්‍රදේශ ප්‍රධාන ජාතීන් තුන බෙදී පවත්නේ ආසන්න වශයෙන් සමාන ප්‍රතිශතාත්මකවය. මෙතෙක් සිදුවූයේ සියලු සුළු ජාතීන් එක්ව එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීත්වය දැක්වීමය. එහෙත් වසර හැත්තෑ දෙකකට පසුව එම තත්ත්වය වෙනස් වී ඇත.

හෝමාගම හා මහරගම, ජාතිවාදය ප්‍රමුඛකොට ගත් එකී මතවාදයට පහසුකම් සපයන ආසන ලෙස සැලකුණි. ඒ කෙරේ වන මහජන සංවේදීතාව සලකා ඒවායේ ආසන සංවිධායකවරයන් ලෙස පත්කරන්නේද ජාතිවාදී ආගම්වාදී නැඹුරුවක් සහිත පුද්ගලයන්ය. අතීතයේ සිට බැලුවොත් ගාමණී ජයසූරිය, දිනේෂ් ගුණවර්ධන, විජේදාස රාජපක්ෂ උදාහරණයට ගතහැකිය. සිහළ උරුමය පළමුවරට පාර්ලිමේන්තු ආගමනය සිදුවන්නේ ද මේ ආසන හා ඊට තදාසන්න ආසන ද ඇතුළත් වන පරිදිය.

ආණ්ඩු විවේචකයකු ලෙස කැපී පෙනුණු චම්පික රණවකගේ පැන්සල ලකුණට කිසිදු ආසනයක් නොලැබීම තුළින් කියවෙන්නේ ඔහුගේ අතීත ජාතිවාදයට මෙන්ම වත්මන් දේශපාලන භූමිකාවට තැනක් මෙම සමාජයේ නැති බවයි.

පශ්චාත් මැතිවරණ පුවත්පත් සාකච්ඡාවක දී අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉතා නිවැරදිව පැවසූ පරිදි මෙම මැතිවරණ පසුබෑමට ප්‍රමුඛ හේතුව වන්නේ අපේක්ෂකයින්ට ගම සමග ඇති දුරස්ථභාවයය. පාලන මාදිලිය වෙනස් කිරීම සඳහා මහජනතාව විසින් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යොදා ගත්තත් පළාත් පාලන මැතිවරණය යනු ඊට හාත්පසින්ම වෙනස්, ඊට සපුරා වෙනස් පුද්ගල සමීපතාවන් සැලකිල්ලට ගන්නා මහජන වරණයකි. මේ තත්ත්වය හොඳින්ම දැකගත හැක්කේ උතුරේ ඡන්ද ප්‍රතිඵලය සැලකිල්ලට ගන්නා විටය. මේ තත්ත්වයන් යටතේ වුවද උතුරේ නියෝජිතයින් එකසිය පනස් නවදෙනකු තේරී පත්වී ඇත.

මේ සියලු තත්ත්වයන් යටතේ වුවද සිංහසෙයියාවෙන් යුතුව සිය ආපසු ගමන ගැන ගැඹුරු විමර්ශනයක් කළ යුතුය. සාමූහික දැක්මක් ඇති පක්ෂයකට එවැන්නක් කිරීම අපහසු නැත. පුද්ගලභාවය වෙනුවට දේශපාලන අරමුණ වෙනුවෙන් කැපවෙන එකම බලගතු දේශපාලන ව්‍යාපාරය ජාතික බලවේගය හෙයින් එය අපහසු කාරණයක් නොවේ.

චන්ද්‍රරත්න බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT