Home » ජනතා හදවත් දිනූ හිටපු කථානායක බාකීර් මාකාර්

ජනතා හදවත් දිනූ හිටපු කථානායක බාකීර් මාකාර්

by sachintha
May 12, 2025 2:00 am 0 comment

(හිටපු කථානායක අල්හාජ් එම්.ඒ.බාකීර් මාකාර් මහතාගේ 108 වැනි ජන්ම දින ගුණ සැමරුම අදට (12) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

උපතින් මුස්ලිම් වුවත්,ඉස්ලාම් ලබ්ධිකයකු වුවත්, සිංහල බස නිවැරදිව ලියන, කියන සිංහල බසට හා සිංහල ජාතියට ලැදි සිංහල බසේත්, සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අභිවෘ ද්ධියට විපුල සේවාවක් කළ මොහු ගැන කවුරුත් නිතර කතා කරති. සිංහල බාකීර් යන ආදර නාමයෙන් ජනතාව අතර ප්‍රචලිත මොහු කවුද?

බේරුවල උපත ලබා බේරුවල දී හැදී වැඩී බේරුවල ජනතාව සමඟ ජීවත් වූ මොහු බේරුවල බාකීර් මාකාර්ය.

ඓතිහාසික පසුබිමකින් යුත් ප්‍රසිද්ධ ආයුර්වේද පරපුරකින් පැවත එන බාකීර් මාකාර් මහතා මෙලොව එළිය දුටුවේ 1917 මැයි 12 වැනි දින බේරුවල, මරදානේ දීය.

“පොඩි කාලෙ මං අක්කත් සමඟ බේරුවල මරදානේ මුස්ලිම් පාසලකට ගියා. ඒ පාසල තමයි ලංකාවේ පළමුවැනි මුස්ලිම් බාලිකා පාසල, වැලි ලෑල්ලෙ අකුරු ලියලා පුරුදු වුණා. පසුව මාව කොළඹ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් කළා. මං කොහේ ගියත් නායකත්වයට ඉදිරිපත් වෙනවලු.”

“මම නීති විද්‍යාලයට ඇතුළත් වුණු කාලයේ ගොඩක් දුක්වින්දා. මොනවා කරන්න ද? මගේ දෛවය මට දෙන දායාද මං පිළිගන්න එපෑයැ. සතුටින් ඉවසුවා. උත්සාහ ගත්තා වෙහෙසුණා, නීති විද්‍යාලයේ දේශනවලට සවස 03 වනතෙක් සිට ඉන් පස්සේ කොළඹ නගරයේ කීහිප තැනකම ටියුෂන් දෙන්න සැතපුම් ගණනාවක් බයිසිකල් පදිනවා. හැමදාම සහිරාවේ රාත්‍රී පන්තිවල ඉගැන්නුවා. මේවායින් ලැබුණු ආදායමින් යැපුණා. හිරිහැර මධ්‍යයේ නීතිඥ විභාගයෙන් සමත් වුණා. කියන්න කනගාටුයි අදත් දුක හිතෙනවා. උසාවි යන්න කලිසම් කෝට් මහන්න මුදල් තිබුණේ නැහැ. මගේ තාත්තා වෙද මහත්තයෙක් වුණාට වෙදකමින් ලොකු පොහොසතෙක් වෙන්න උනන්දුවක් තාත්තට තිබුණේ නැහැ.”

“ඔරුව තියාගෙන ගඟ ළඟ ඉන්න මිනිහට හබල නැතිව සිටියා වගේ උසාවියත් බලබලා පෙරකදෝරු විභාගෙත් පාස් කරලා, ඒකට යන්න ඇඳුම් නැතිව මං හිටියේ. ඒ අතරතුරේ ලොතරැයි දිනුමකින් ඇදුණු රුපියල් දාහෙන් කළු කබා, කළු කලිසම් ඇඳුම් කට්ටල කිහිපයක් මසා ගත්තා. නීතිය නමැති ගංගාවේ මගේ නීතිඥ වෘත්තිය නමැති ඔරුවෙන් මිනිසුන් එගොඩ, මෙගොඩ කරලා මං මුදල් ටිකක් උපයාගත්තා. මට වාසනාවන්ත කාලය උදාවුණේ ඉන්පසුවයි.”

“1947 මහමැතිවරණයේදී මගේ ගුරු ටී.බී. ජයා මහතාගේ මැතිවරණ සංවිධායක වශයෙන් මම ක්‍රියා කළා. මේ කටයුතුවලින් පස්සේ මාව දේශපාලන පොරපිටියට තල්ලු වුණා.”

“බේරුවල නගර සභාවට මම මුලින්ම තේරු‍ෙණ් 1950දී. ඒ නිතරගයෙන්. ඒ වාරයේදීම බේරුවල නගර සභාවේ සභාපති වුණා. බේරුවල නගර සභාවේ මම අවුරුදු විස්සක් පැරණි සභිකයෙක්. 1960 වර්ෂයේදී බේරුවල මන්ත්‍රී වුණා.” බේරුවල මහජන මන්ත්‍රී බාකීර් මාකාර් මහතා පැවසීය. (උපුටාගැනීම 1969.02.14 දින පුවත්පතක පළ වූ එතුමන් විසින් කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි.)

බාකීර් මාකාර් මහතාගේ ජීවන ගමන ගැන පසුවිපරමක් කර බැලීමම නූතනයේ අපට වඩාත් වැදගත්ය. ඔහුගේ උසස් අධ්‍යාපනය සඳහා වියදමට මුදල් තිබුණේ නැත. නමුත් ඔහු එය බාධාවක් කරගත්තේ නැත. ඔහු තුළ තිබූ අධිෂ්ඨාන ශක්තිය, කැපවීම, ආත්මවිශ්වාසය, නැති මුදල අබිබවා ගියේය. උසස් අධ්‍යාපනය නිමකොට දක්ෂ නීතිඥවරයෙක් විය. පසුව කළුතර නීතිඥ සංගමයේ සභාපති ලෙස ද පත්විය. කළුතර නීතිඥ සංගමයේ සභාපති ලෙස පත් වූ ප්‍රථම මුස්ලිම් ජාතිකයා එතුමාය.

බේරුවල මැණික්වලට ප්‍රසිද්ධය. මැණික් සහ ධීවර ව්‍යාපාරිකයන් මෙන්ම හෝටල්, ස්කාගාර හිමි අයවළුන් ඇතුළු ධන කුවේරයන්ගෙන් අඩුවක් නැති ප්‍රදේශයකි, බේරුවල. දේශපාලනඥයන් වැඩි පිරිසක් දේශපාලනයට ආකර්ෂණය වන්නේ මුදල් මුල්කරගෙනය. බාකීර් මාකාර් මහතා ධනවත් පවුලක කෙනෙක් නොවේ. ඔහුගේ පියා ජීවත් වූයේ ආයුර්වේද වෛද්‍ය වෘත්තියෙන් උපයාගත් සුළු මුදලෙනි. එය ජීවත්වීමට පමණක් ප්‍රමාණවත්ය. එමෙන්ම ඔහුගේ මව, පියා හෝ පරපුරේ කිසිවකු දේශපාලනඥයන් නොවේ. බේරුවල වැනි ප්‍රදේශයක මුදල් හෝ දේශපාලන පසුබිමක් නොමැතිව ඔහු ආ දේශපාලන ගමන පුදුමසහගතය.

ගම්මුන්ගේ ප්‍රධානත්වයෙන් බේරුවල මරදාන ප්‍රදේශයේ “සකරියා විලා” හි සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. වෙනසක් බලාපොරොත්තු වූ මේ පිරිස බේරුවල නගර සභාවේ, බේරුවල මරදාන කොට්ඨාසය නියෝජනය කිරීමට සුදුස්සා බාකීර් මාකාර් මහතා බව ඒකමතිකව තීරණය කළා. සකරියා විලා හි පැවති මේ සාකච්ඡාව ඔහුට ක්‍රියාකාරී දේශපාලන දිවියට ආගමනය වීමට මූලික හේතුවක් වුණා.

අද යුගයේ මෙන්ම එදා මේ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වන බේරුවල සිටි ධනවන්තයෝ විශාල වශයෙන් මුදල් වියදම් කළා. මේ අවස්ථාව වනවිට මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමට බාකීර් මාකාර් ආර්ථික අතින් අපොහොසත් වුණා. කොපමණ දුෂ්කරතා හා බාධක ඇතිවුවත් තමා පෙරමුණ ගත් සටන ඔහු අත්හැරියේ නැත. ධන බලයෙන් බලයට පත්වන පිරිස්වලින් දුගී ජනතාව සිටින ප්‍රදේශවලට ලැබෙන කුඩම්මාගේ සැලකිලි නිසා, ධන බලයට එරෙහිව එවකට නීති ශිෂ්‍යයකුව සිටි බාකීර් මාකාර්ව පොරපිටියට දැමීමට තීන්දු කළේ ගමේ තරුණ කොටස්ය.

මෙදා නගරාධිපතිකම තම ප්‍රදේශයට ලබාගැනීමට මේ ප්‍රදේශවල පීඩිත ජනතාව අදිටන් කරගෙන සිටියහ. පුතාගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ යැයි බියවී සිටි මවුපියන්ව ද අවසානයේදී කැමැති කරගන්නට ගමේ තරුණයෝ ප්‍රදේශයේ ප්‍රභූන්ව ඉදිරියට දැමූහ. ඔවුන්ගේ උත්සාහය අවසානයේ සාර්ථක විය.

කරත්ත රෝදය ඡන්ද ලකුණින් ඡන්ද සටන ඇරඹූ බාකීර් මාකාර් මහතාගේ දේශපාලන ගමනේ පළමු සටන් පාඨය වූයේ,

“දීන මිනිස්සුන් නොවන්න

සල්ලි බලය පරදවන්න

රෝදෙට ‍ඔබේ ඡන්දෙ දෙන්න.”

ආරම්භක අවස්ථාවේදීම තරුණ බාකීර් මාකාර් මහතාගේ දේශපාලන ගමන විනාශ කර දැමීමට බේරුවල ධන කුවේරයින් අදිටන් කළත්, ඔහුගේ අවංකභාවයත්, චිත්ත ධෛර්යයත් නිසා දිනෙන් දින ඔහුගේ ජනප්‍රියභාවය වැඩිවන්නට විය.

කරත්ත රෝදය සමගින් ඔහුගේ දෛවය ද ඉදිරියටම කැරකුණි. රෝදය ආපස්සට කැරකුණේ නැත. බේරුවලට වෙනම මැතිවරණ කොට්ඨාසයක් ලබා ගැනීමට තල්ගොඩපිටිය කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් බේරුවලට වෙනම මන්ත්‍රී අසුනක් ලබාගත් බාකීර් මාකාර් මහතා එම අසුනේම මන්ත්‍රීවරයා වීමෙන් තබා ඇති වාර්තාව, ඔහුගේ වාර්තා ගොඩට තවත් වාර්තාවක් එක් කළා. ධනවතුන්, බලවතුන් රැසක් එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායකකමට පොරකද්දී එක්සත් ජාතික පක්ෂය එතුමන්ව මේ තනතුර සඳහා තෝරා ගත්තා. බේරුවල සංවිධායක ධුරය මෙන්ම බේරුවල නව ආසනයේ පළමු මහජන මන්ත්‍රීවරයා වීමේ භාග්‍යය ද ඔහුට ලැබුණා.

1965 වසරේ පැවති මැතිවරණයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේ බේරුවල ආසනය පමණක්මය. එම නිසා “කළුතර තනි අලියා” යන අන්වර්ථ නාමයෙන් ද ඔහු හඳුන්වනු ලැබිණි. 1977 ජූලි 21 වැනි දින පැවති මහමැතිවරණයේදී ද පෙර පරිදිම බේරුවල සල්ලි බලය කරළියට පැමිණියා. ධනවතුන් මේ මහමැතිවරණයට විශාල වශයෙන් මුදල් වියදම් කරා පමණක් නොව සෑම තැනම හතු පිපෙන්නාක් මෙන් මුදලට පක්ෂ කාර්යාල විවෘත වුණා. බේරුවල ධන කුවේරයින් මුදල් ගස් සෙලවුවත් 75%ක බහුතර සිංහල ජනතාව ජීවත්වෙන බේරුවල ආසනයේ මුස්ලිම් ජාතිකයකු වන බාකීර් මාකාර් මහතා වැඩි ඡන්ද විසි හත්දහසක් (27000) ලබා ගනිමින් මුළු රටටම ආදර්ශයක් ලබා දුන්නා. ඒ ඔහු තුළ තිබූ ජාතික සමගියත්, අවංකභාවයත් නිසාමය. ලංකාවෙන්ම වැඩිම ඡන්ද සංඛ්‍යාව අතින් බේරුවල එදා දෙවැනි ස්ථානය ලබා ගත්තා. 1977 අගෝස්තු 04 වැනි දින බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ උප කථානායක ධුරයට පත් වුණා. එමෙන්ම 1978 සැප්තැම්බර් 21 වැනි දින බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ උත්තරීතර පදවිය වන කථානායක ධුරයට පත්වුණා. පැරණි පාර්ලිමේන්තුවේ අවසාන කථානායක වශයෙන් ද, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇති නව පාර්ලිමේන්තුවේ පළමු කථානායක වශයෙන් ද, මෙරට වැඩ බැලූ රාජ්‍ය නායකයකු වශයෙන් ද මෙරට ඉතිහාසයට ඔහු එක්වුණා.

1983 අගෝස්තු මස 31 වැනි දින කථානායක ධුරයෙන් කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දුන්නා. මේ අවස්ථාවේදී නව අමාත්‍යාංශය සඳහා ඔහු වෙනම කාර්යාලයක් ලබාගත්තේ නැහැ.

මේ අවස්ථාවේදී එතුමන් ගැන කදිම විස්තරයක් කළ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති රොනී ද මැල් මහතා පාර්ලිමේන්තුව අමතමින්,

“එතුමා තමන්ගේ ආසනයේ ඇතැම් ධන කුවේරයින්ගේ බලයට එරෙහිව නැඟී සිටින ආකාරය ගැන මා පෞද්ගලික වශයෙන්ම ඉතාමත් පැහැදීමකට පත්ව සිටිනවා. මේ සභාවේ මෙතෙක් පැමිණි උසස් ගරුබුහුමන් ලැබූ කෙනෙකි එතුමා.

දැනට ඔහුම අමාත්‍යාංශයේ කටයුතු තම නිල නිවෙසේම පවත්වාගෙන යනවා. ඇමැතිවරයකුට අවශ්‍ය නම් රජයේ විශාල මුදලක් වියදම්කොට වෙනත් ‍ගොඩනැඟිල්ලක් ලබාගත හැකිය. ඒ වෙනුවට නිල නිවෙසේම කොටසක් තබා ගනිමින් කරන දායකත්වය, පරිත්‍යාගශීලී ස්වභාවය අප කවුරුත් අගය කළ යුතුය.”

1988 ජූනි 31 වැනි දින දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් බාකීර් මාකාර් මහතා 1993 නොවැම්බර් 21 වැනි දින දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් සහ දේශපාලන දිවියෙන් සමුගත්තා.

බේරුවල, මරදාන ගමේ ඉපදී ස්වෝත්සාහයෙන් නැඟිටිමින්, ප්‍රතිපත්තිගරුක දේශපාලනය තුළින් බේරුවල බිමටත්, බේරුවල ජනතාවටත්, මෙරට වැසියන්ටත් කළ සේවාව එතුමාගේ උපන් දිනය සමරන අද(12) බේරුවල ජනතාවත් මෙරට වැසියනුත් සෙනෙහෙබර සිතින් සමරනු නියතය.

සාම විනිසුරු ජිනසේන වේලාරත්න – කාලවිල, බේරුවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT