ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දස වැනි පාර්ලිමේන්තු සභාපති ධුරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් විය.
කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මේ පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පසුගියදා (08) පැවැති රැස්වීම් අවස්ථාවේදී මේ පත් කිරීම සිදු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් විය.
දෙරටේම නියෝජිතයෝ සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති ශක්තිමත් සම්බන්ධතාව මෙහිදී සිහිපත් කළහ. හුවමාරු වැඩසටහන් සහ සාකච්ඡාවලින් පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.
අභියෝගාත්මක කාලවලදී අපේ රටට ඉන්දියාව දුන් විශාල සහයෝගයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑත කාලීන ඉන්දීය සංචාරය ද්වි-පාර්ශ්වික සහයෝගීතාවට නව මංපෙත් විවර කළ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස ඔහු පෙන්වා දුන්නේය. මෙරට අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මේ මස අගදී ඉන්දියානු පාර්ලිමේන්තු අධ්‍යයන සහ පුහුණු කාර්යාංශය විසින් පැවැත්වීමට නියමිත ධාරිතා ගොඩනැඟීමේ වැඩසටහන සංවිධාන කිරීම පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කර සිටියේය.
රැස්වීම අමතමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සාර්ථක ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ අතර, ඉන්දියාවට සමීප අසල්වැසියකු ලෙස බහුවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව ඉදිරියටත් සූදානම් බව ද පැවැසුවේය.
අභිනව සභාපති ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය කතාවේදී පෙන්වා දුන්නේ දෙරට පාර්ලිමේන්තු අතර පාලමක් ලෙස මිත්‍රත්ව සංගමයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනටමත් පවතින දිගු කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්ය.
මෙහිදී ස්තූති කතාව කරමින් මිත්‍රත්ව සංගමයේ ලේකම් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඉන්දීය මිත්‍රත්වයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, අඛණ්ඩ සහයෝගීතාවට ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මේ අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක, වෛද්‍ය රිස්වි සාලි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්, ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
සන්ධ්‍යා කරුණාරත්න