Home » ලග්ගල අසරණ පවුලකට අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි නාහිමියන්ගෙන් නව නිවෙසක්

ලග්ගල අසරණ පවුලකට අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි නාහිමියන්ගෙන් නව නිවෙසක්

by sachintha
May 12, 2025 1:39 am 0 comment

පාසල් යන වයසේ දරුවන් පස් දෙනකු සිටින ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අසරණ පවුලකට නිවෙසක් ඉදිකර දීමට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පියවර ගත්හ.

කටුමැටියෙන් ඉදිකර ඉටි රෙදි ආවරණය කළ නිවෙසක දරුවන් පස්දෙනා සමඟ මව සහ පියා ජීවත්ව තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් ලග්ගල ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා අබේරත්න මහත්මිය විසින් ආනන්ද නාහිමියන් දැනුම්වත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ පවුලට නිවෙසක් ඉදිකර දීමට ආනන්ද නාහිමියන් ඉදිරිපත්ව ඇත. උන්වහන්සේගේ ජනම දිනය යෙදුණු පසුගිය පෙබරවාරි මස 23 වැනි දින එහි ඉදිකිරීම් ආරම්භ කර තිබේ. මාස දෙකක පමණ කාලයකදී රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය කර අදාළ නිවෙසේ වැඩ නිම කර ඇත.

සම්බුදු තෙමඟුල සැමරීම කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (11) එම නිවෙස අදාළ පවුල වෙත භාරදීම සිදු කෙරිණි. එහි වැඩ කටයුතු සැලසුම් කිරීමේදී ලග්ගල ඛෙත්තාලෝක විහාරාධිපති කබරව නන්ද හිමියන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරිය දුන් සහාය අගය කරන බව ආනන්ද නාහිමියෝ පැවසූහ.

නිවෙසට අවශ්‍ය ගෘහ උපකරණ සහ පාසල් දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමට ද ආනන්ද නාහිමියෝ මෙහිදී පියවර ගත්හ. මේ වනවිට ආනන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් 12කට නිවාස ඉදිකරදී තිබේ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT