රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව සිදු කරන ‘සියම් ලංකා ධර්ම යාත්‍රා’ වැඩසටහනේ භික්ෂුන් වහන්සේලා පාද චාරිකාවෙන් නුවරඑළියට වැඩම කරවීම පෙරේදා (10) පෙරවරුවේ සිදු වූහ.
බණ්ඩාරවෙල නගරයේ සිට නුවරඑළිය දක්වා පසුගිය 07 වැනි දින සිට ගමන් ආරම්භ කළ මේ ධර්ම යාත්‍රා පාද චාරිකාව පළමු දිනය බණ්ඩාරවෙල සිට දඹවින්න දක්වාත්, දෙවැනි දිනය දඹවින්න සිට දිවුරුම්වෙල දක්වාත්, තුන්වැනි දිනය දිවුරුම්වෙල සිට හග්ගල දක්වා, සිවුවැනි දිනය වන පෙරේදා (10) හග්ගල සිට නුවරඑළිය දක්වාත් වැඩම කරවීම සිදු වූහ.
මඟ දෙපස රැස්වූ බෞද්ධ මෙන්ම අන්‍යාගමික ජනතාව විසින් මාර්ගයේ මල් අතුරමින් මේ පාද චාරිකාවේ නිරත ස්වාමීන් වහන්සේලාට පුද සත්කාර කිරීම සිදු කරන ලදි.
නුවරඑළිය නගරයට පැමිණි සියම් ලංකා ධර්ම යාත්‍රා වැඩසටහනේ භික්ෂුන් වහන්සේලා ගාමිණී ජාතික පාසල අසලදී දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය විසින් පිළිගැනීම සිදු කරන ලදි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ නිර්මාතෘ මුගුණුවෙල අනුරුද්ධ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මඟ පෙන්වීම මත, මේ වැඩසටහන සිදු කළ අතර, මේ පාද චාරිකාවේ පැමිණි මහා සංඝරත්නය ඇතුළු සංඝයා වහන්සේලා 500ක් විෂයයෙහි දහවල් දානය බඹරකැලේ ශ්‍රී මහා විහාරයේදී පූජා කළහ.
සුභාෂිණී සේනානායක
ඡායාරූපය – සුලෝචන ගමගේ