Home » ශ්‍රී ලංකාවේ දිගු කාලීන සංවර්ධනයට ලෝක බැංකුවේ සහාය ලෝක බැංකුවේ සභාපති අජේ බංගා

ශ්‍රී ලංකාවේ දිගු කාලීන සංවර්ධනයට ලෝක බැංකුවේ සහාය ලෝක බැංකුවේ සභාපති අජේ බංගා

by sachintha
May 12, 2025 1:47 am 0 comment

ශ්‍රී ලංකාවේ දිගු කාලීන සංවර්ධන අභිලාෂවලට සහාය වීමට ලෝක බැංකුව කැපවී සිටින බව ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා ප්‍රකාශ කරයි.

යටිතල පහසුකම්, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල අඛණ්ඩ සහයෝගීතාව තිරසර ප්‍රගතියක් සහතික කිරීම සඳහා යතුර බව පෙන්වා දෙන ඒ මහතා තිරසර අනාගතයක් සඳහා සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පෙන්වා දෙයි.

සංචාරයක් සඳහා මෙරටට පැමිණි ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා සිය සංචාරය අතරතුර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය. ඒ මහතා සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු රජයේ නායකයන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරතවිය.

තම සංචාරය අතරතුර මෙරට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහාය වීම සඳහා ලෝක බැංකුවේ කැපවීම යළිත් තහවුරු කළ ඒ මහතා මෙරට ආර්ථික සහ සමාජයීය ප්‍රගතියේ තීරණාත්මක හවුල්කරුවකු ලෙස සංවිධානයේ කාර්යභාරය අවධාරණය කළේය. ඊට අමතරව ලෝක බැංකු සභාපතිවරයා සහ ඇමැති විජිත හේරත් මහතා අතර පැවැති සාකච්ඡාවේදී රටේ අභියෝගවලට මුහුණ දීම සහ දිගු කාලීන සමෘද්ධිය සහතික කිරීමට අඛණ්ඩ සහයෝගීතාවේ වැදගත්කම පෙන්වා දුන්නේය.

අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳාම සහ ආයෝජන ඇතුළු මෙරට සංවර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධාන අංශ කිහිපයක් හරහා අඛණ්ඩව අනාගත සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ. මෙරට සංවර්ධන ගමන පුරාවට ලෝක බැංකුවේ නොසැලෙන සහයෝගය සම්බන්ධයෙන් ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ කෘතඥතාව පිරිනැමීය.

ලෝක බැංකුවේ ස්ථිර කැපවීම මෙරට සංවර්ධන මුලපිරීම් ඉදිරියට ගෙන යෑමට උපකාරී වී ඇති අතර, පැවති සාකච්ඡා අනාගතය සඳහා අන්‍යෝන්‍ය ඉලක්ක තවදුරටත් ශක්තිමත් කර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. ස්වාභාවික සහ සංස්කෘතික වත්කම් තිරසරව පවත්වා ගැනීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, එමඟින් සංචාරක ව්‍යාපාරය වඩාත් තිරසර සහ සියල්ලන් ඇතුළත් කරගැනීම සඳහා වන වැඩසටහන් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධනය හා වර්ධනයට හවුල්වීමට ලෝක බැංකුවේ කැමැත්ත ඒ මහතා ප්‍රකාශ කළේය.

ලෝක බැංකු සභාපතිවරයාගේ සාර්ථක සංචාරය ශ්‍රී ලංකාව සමඟ ගැඹුරු සහයෝගීතාවකට මඟපාදන අතර, ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ, අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කයිඩ්, ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT