Home » රන් කිලෝ පහහමාරක් කෝටි 28කට දෙන බව කියා ව්‍යාපාරිකයකුගෙන් විසි කෝටි අසූපන් ලක්ෂයක් කොල්ලකෑ කල්ලිය කොටු කර ගන්න විමර්ශන

රන් කිලෝ පහහමාරක් කෝටි 28කට දෙන බව කියා ව්‍යාපාරිකයකුගෙන් විසි කෝටි අසූපන් ලක්ෂයක් කොල්ලකෑ කල්ලිය කොටු කර ගන්න විමර්ශන

by sachintha
May 12, 2025 1:11 am 0 comment

රුපියල් කෝටි විසි අටක මුදලකට රත්රන් කිලෝ පහහමාරක් දෙන බවට එකඟ වී උඩුනුවර, වෙළම්බොඩ ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු රවටා ඔහු සතු රුපියල් විසි කෝටි අසූපන් ලක්ෂයක මුදලක් කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙළම්බොඩ පොලීසිය පවසයි.

එංගලන්තයේ පදිංචි පුද්ගලයකු හරහා මාස ගණනාවක් පුරා මෙම රන් ගනුදෙනුව සාකච්ඡා කර ඇති අතර එම රන් තොගයේ නිදර්ශකයක් ද පෙන්වීමෙන් පසු දස දෙනකු මෙම ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ ගනුදෙනුව සිදු කිරීමට කටයුතු කර තිබේ.

එහිදී එම පිරිස් පවසා ඇත්තේ රන් තොගය මාළු ලොරියක සඟවා රැගෙන එන බවත් එම ගනුදෙනුව සිදු කිරීමට ව්‍යාපාරිකයා හා ඔහුගේ වැඩිමහල් පුතා පමණක් එම නිවෙසේ සිටීම ප්‍රමාණවත් බවත්ය.

ඒ අනුව පැමිණි පිරිසෙන් තිදෙනකු මෙම ස්ථානයේ සිටි අතිරේක පිරිස් සමඟ ව්‍යාපාරිකයා සතු වෙනත් නිවෙසකට ගොස් ඇති බව පොලීසිය පවසයි.

එහිදී ඉතිරි වූ හත්දෙනා මෙම ව්‍යාපාරිකයාගේ හා එම පුතාගේ අත්පා සහ මුව, ප්ලාස්ටර්වලින් බැඳ කාමරවලට දමා පහර දී ඔවුන් සතුව තිබූ මෙම මුදල් රැගෙන පලා ගොස් තිබේ.

මේ තරම් විශාල මුදලක් දමා තිබූ බෑග්වලින් එම මුදල් ඉවත් කර වෙනත් බෑග්වලට දමාගත් මෙම කණ්ඩායම වාහනයකින් පලා ගොස් ඇති අතර අනෙක් තිදෙනාගේ හැසිරීම සැක සහිත වීම සමඟ ව්‍යාපාරිකයාගේ අනෙකුත් පිරිස ඔවුන් රඳවාගෙන තිබේ.

මේ අතර ව්‍යාපාරිකයා හා පුතා බැඳ තිබූ ප්ලාස්ටර් ගලවාගෙන මේ බව තම ඥාතීන්ට හා හිතවතුන්ට දැන්වීමෙන් පසු අල්ලාගෙන සිටි තිදෙනා ද සමඟ සිද්ධිය වෙළම්බොඩ පොලීසියට දන්වා තිබේ.

මෙම තිදෙනාගෙන් එක් අයකු එංගලන්තයේ සිටින අයගේ මස්සිනා කෙනකු වන අතර ඔහු කොළඹ, රාගම ප්‍රදේශයේ අයකු බව තහවුරු කරගෙන තිබේ. ඔහු පැමිණි වැගන් ආර්. වාහනය ද පොලිස් භාරයට ගෙන තිබේ. මහනුවර, පල්ලේකැලේ හා පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් පැමිණි අනෙකුත් දෙදෙනා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ද සමඟ පොලිස් භාරයට ගෙන තිබේ.

පලා ගිය සැකකරුවන් ගමන් ගත් දිසාව හඳුනාගත් වෙලම්බඩ පොලීසිය 13කගෙන් යුත් පොලිස් කණ්ඩායමක්, පොලිස් කණ්ඩායම් තුනකට බෙදී ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ ගොස් එහි විවිධ ස්ථානවල ඇති කැමරා පරීක්ෂා කරමින් ඇල්ල වැල්ලවාය හරහා තණමල්විල දක්වා ගමන් කර සෝදිසි කිරීම් කළද කොල්ල කණ්ඩායම හමු නොවුණු නිසා නැවතත් වෙලම්බොඩ පොලීසියට පැමිණ තිබේ.

මෙම සැකකරුවන් තංගල්ල හෝ කතරගම ප්‍රදේශවලට පලා යන්නට ඇතැයි පොලීසිය සැක කරයි. මේ පිළිබඳව රට පුරා පොලීසිවලට දැනුම් දී තිබේ. එසේම ඔවුන්ට විදේශගතවීම අත්හිටුවීමට ද පියවර ගනිමින් සිටියි.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත වෙළම්බොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් අශෝක් ගුණවර්ධන මහතාගෙන් යුත් කණ්ඩායමක් ද, සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික් 3 ඔමේෂ් රන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායමක් ද, ගම්පොළ පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තවත් කණ්ඩායමක් ද මේ පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතියි.

ගම්පොළ සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT