හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාව නොයෙක් ව්‍යසනයන්ගෙන් හා ඉච්ඡාභංගත්වයෙන් පීඩාවට පත්ව සිටින අද්‍යතන සමාජයට එයින් අත්මිදීම උදෙසා ඥානමය ආලෝකය ලබාදීමේ ඒකායන මාර්ගය බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. වෙසක් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව පවසා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.
ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථචර්යාවෙහි යෙදෙන උතුම් වෙසක් පුන් පොහෝ දිනය ලෝකවාසී සමස්ත බෞද්ධ ජනයාගේ ශ්‍රේෂ්ඨතම පුණ්‍යෝත්සව දිනයයි.
මහා ප්‍රඥාවේත් මහා කරුණාවේත් ප්‍රතිමූර්තිය වන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපරිමිත බුද්ධ ගුණ සිහිපත් කරමින් කුසල්හි සිත පිහිටුවමින් සංසාරික විමුක්තිය උදෙසා වීර්යවන්ත වීමට මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ සැදැහැති බෞද්ධ මහජනතාව අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.
එහෙයින් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ධර්මයන්හි පිහිටා කුසලාංගයන්ගෙන් ස්වකීය ජීවන යාත්‍රාව පෝෂණය කරගැනීමට උත්සාහ කිරීම බුද්ධ ශ්‍රාවකයන් ලෙස තථාගතයන් වහන්සේ විෂයෙහි දැක්විය හැකි ඉහළම ගෞරවයයි.
තථාගතයන් වහන්සේ විසින් සල්ලේඛ සූත්‍ර දේශනාවෙහිලා අනුදැන වදාළ ආකාරයටම ශ්‍රාවකයන් කෙරෙහි යහපත කැමැති ශාස්තෘන් වහන්සේ නමක් විසින් යමක් කළ යුතු ද ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන් විෂයෙහි සිදුකර ඇත.
එහෙයින් ඒකී ධර්ම මාර්ගය තුළ ශික්ෂණය වෙමින් සාංසාරික විමුක්තිය උදෙසා ව්‍යාවෘත වීමට ශ්‍රාවකයන් වශයෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම බෞද්ධ පිළිවෙත බව මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ සියලු ලක්වාසීන් වෙත සිහිපත් කරනු කැමැත්තෙමු.
උතුම් සම්බුද්ධෝපදේශයන් මත පිහිටා සිය ජීවිත කුසලාංගයන්ගෙන් පෝෂණය කරගැනීමට විර්ය වන්තව කටයුතු කිරීමට සැමට ශක්තිය ධෛර්යය සැලසේවායි ප්‍රාර්ථනා කරන අතරම, රත්නත්‍රයේ ආශීර්වාදයෙන් සැමට ධර්මාලෝකයෙන් ප්‍රභාවිත සිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා යැයි ආශිංසනය කරම්හ.
අසේල කුරුළුවංශ