බුදුන් වහන්සේගේ දේශනාව පරිදි අපගේ ඉදිරි ජීවන රටාව ප්‍රඥා සහගතව හැඩගස්වා ගැනීමෙන් මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම ඉතා සුබදායී වනු ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.
වෙසක් දිනය නිමිත්තෙන් උන්වහන්සේ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරන අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි. සකල ලෝකවාසීන්ගේ දෙලොව යහපත සඳහා නිර්මල සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ තෙමඟුල සිදුවූ වෙසක් පුන් පොහෝ දින සෑම බෞද්ධයකුටම සුවිශේෂ දිනයකි.
වෙසක් පුන් පොහෝ දින ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව දාන, ශීල, භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් තොරණ, විදුලි සැරසිලි, පහන් කූඩු සහ වෙසක් සැරසිලි වැනි ආමිස පූජා ද සිදු කරනු ලබයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අනුව ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීමෙන් යහපත් බෞද්ධයන් ලෙස වෙසක් උත්සවය සැමරීම ඉතා වැදගත් වේ.
තමන් ජීවත් වන දේශය පමණක් නොව මුළු ලෝකය දෙසම කල්පනාකාරීව බැලිය යුතු මෙම වකවානුවේ විනාශකාරි යුද්ධයන්ගෙන් ලෝවැසියන් මුදාගැනීමට බුදු රජාණන් වහන්සේගේ ධර්මය උපයෝගී කරගැනීමට අප මෙතෙක් ප්‍රමාද වී ඇත.
පාරිශුද්ධ මනසකින් යහපත් සහ අයහපත් ක්‍රියාවන් පිළිබඳව අපට අවබෝධ කොටදී ඇති බුදුරජාණන් වහන්සේ, කුසලකම හා අකුසලකම අතර ඇති වෙනස ද මනාව පසක්කර දී ඇත. ආමිස හා ප්‍රතිපත්ති පූජා තුළින් මෙම වෙසක් දින අපගේ මනස පිරිසුදු කොට ගෙන සැබෑ සාමය සහ සංතෘෂ්ටිය සඳහා කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වනු ඇතැයි සිහිපත් කරමි.
නයනතාරා ලියනආරච්චි