Home » යුද ගිනිදැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු

යුද ගිනිදැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු

- ජනපති අනුර කුමාර දිසානායක

by sachintha
May 12, 2025 2:30 am 0 comment

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ඇති ලෝක සාමය උදෙසා වන මා හැඟි පණිවුඩය හා ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහාගෙන යුදගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාලකයකු විසින් යහපත් පාලනතන්ත්‍රයක්‌ ගොඩනඟාගත යුතු ආකාරය පිළිබඳව බෞද්ධ දර්ශනයේ සඳහන් වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එහි මෙසේද දක්වා ඇත.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි.

සියලු බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, සියලු කෙලෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදී ය.

උන්වහන්සේ සියලු දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලු ලෝකවාසීන්ගේ ආධ්‍යාත්මික හිත සුව පිණිසම හේතු සාධක විය.

බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. එසේම පාලකයකු විසින් යහපත් පාලනතන්ත්‍රයක්‌ ගොඩනඟාගත යුතු ආකාරය පිළිබඳව ද බෞද්ධ දර්ශනයේ සඳහන් වෙයි.

“සබ්බං රට්ඨං සුඛං සේති – රාජා චේ හොති ධම්මිකෝ” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇති බවයි.

බුදුරජාණන් වහන්සේගේ අර්ථධර්ම මාවත මනාකොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනඟමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵලදැරීම වෙනුවෙන් අප තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව පොරබදිමුයි මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී මම සියලු දෙනාට ඇරයුම් කරමි.

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැඟි පණිවිඩයක් ගෙන දෙන අතර එම ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුදගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ද මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමි.

ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT