බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය උන්වහන්සේ ලොවට පෙන්වා දුන් උතුම් ධර්ම මාර්ගය යළි යළිත් මෙනෙහි කිරීමට අවස්ථාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.
විපක්ෂ නායකවරයා වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් මෙසේද කියා සිටියි.
“අප මුහුණදී ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේදී බෞද්ධ දර්ශනයේ පෙන්වාදී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශය වැදගත් වේ. අප රටක් වශයෙන් මුහුණදී ඇති ගැටලු හමුවේත් ලෝකය හමුවේ මුහුණදී ඇති ගැටලු හමුවේත් විසඳුම් සෙවීමට උත්සුක දරන්නේ ප්‍රශ්නයක් තුළින් පැනනැඟුණු ඵලයට මිස එම ගැටලුව පැනනැඟුණු හේතුව සොයා බලා එය නැති කිරීමට නොවේ.
යමක් ඇති වන්නේ කෙසේ ද එයට හේතුව සොයාබලා පිළියම් යෙදිය යුතු යැයි උගන්වන උතුම් බුදුදහම අප ප්‍රායෝගිකව හඳුනාගත යුත්තේ එබැවිනි.
ශ්‍රී ලංකාව මෙන්ම මුළුමහත් ලෝකය ම මේ මොහොතේ ආර්ථික යුද්ධයකට මෙන්ම සාමය පිළිබඳ වූ අභියෝගයකට මුහුණ දී ඇත. මෙම අභියෝග දිනන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය තුළ පැහැදිලි විසඳුම් තිබේ.
රාජ්‍ය පාලනයේදී දස රාජ ධර්මය වැනි උත්තරීතර මඟපෙන්වීම් මෙන්ම ආර්ථිකය, සමගිය, සමානාත්මතාව, විවිධත්වය තුළ එකමුතුව ඇතිකර ගන්නේ කෙසේ ද යන්න බෞද්ධ දර්ශනය තුළ ඕනෑ ම ආගමිකයකුට පිළිගත හැකි ආකාරයට ඉගැන්වීම් දක්නට ලැබේ. භෞතික සංවර්ධනයට සමගාමීව ආධ්‍යාත්මික සංවර්ධනය රටක සංවර්ධනයේ ප්‍රබලතම අවශ්‍යතාවක් බව මැනවින් හඳුනාගෙන කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ දී ප්‍රධාන කරුණක් බව අප අවබෝධ කරගත යුතු ය.
අපට ලෝකයට ලබා දිය හැකි මිල කළ නොහැකි වටිනාම සම්පත වනුයේ නිර්මල ථෙරවාදී දහම යි. ඒ සඳහාවූ අවස්ථා පුළුල් කිරීම, මහා සංඝරත්නය දැනුමෙන් පෝෂණය කිරීම, සංඝ සාසනයේ චිරස්ථිතිය සහ පැවැත්ම සඳහාවූ අපගේ වගකීම සහ වගවීම අත් නොහළ යුතු මෙහෙවරක් බව අප තරයේ වටහාගත යුතු ය.
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සීයක් ඉක්මවූ මේ මොහොතේ ලොව පුරා බෞද්ධ ජනයා තෙමඟුල සමරනුයේ උන්වහන්සේගේ දහමෙහි විශිෂ්ටත්වය හඳුනාගෙන ඇති නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී වදාළේ ද මගෙන් පසුව ධර්මය ගුරුතන්හි තබා කටයුතු කරන ලෙසයි.
මේ වෙසක් දිනයේ අපගේ අධිෂ්ඨානය විය යුත්තේ ද ඒ උදාර දැක්ම අනුව ධර්මය ගුරුතන්හි තබා යහපත් ලෝකයක් ගොඩනැඟීමට අපගේ කැපවීමයි. එය වෛරයෙන් තොර මෛත්‍රියෙන් පිරි ලෝකයක මාවත විවර කර දෙනු ඇත.
ඔබ සැමට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා. සැමට තෙරුවන් සරණයි!