Monday, May 12, 2025
Home » ලුණු කන්ටේනරය අධිවේගයේ වැට දිගේ ගිහින්

ලුණු කන්ටේනරය අධිවේගයේ වැට දිගේ ගිහින්

-මාර්ගයේ කණුවලටත් බර හානි

by sachintha
May 12, 2025 1:40 am 0 comment

දියලුණු පටවාගත් කන්ටේනර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 30 දොඩංගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්ව ආරක්ෂිත වැටේ ගැටී සිරව තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකා ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීම් ඒකකයේ නිලධාරීන් පැමිණ ඉවත් කිරීමට කටයුතු කළ බව පොලීසිය කියයි. එම අනතුරින් ආරක්ෂිත වැටට රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න අලාභයක් සිදුව ඇතැයි අධිවේගී රථවාහන පොලීසිය කියයි. කන්ටේනර් රථය ගැටීමෙන් ආරක්ෂිත වැටේ මීටර් 100ක පමණ කොටසක කණු 10ක් සහ හරස් බාර් 15කට දැඩි හානි කරමින් ලොරිය ආරක්ෂිත වැටේ සිරවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. පුත්තලම සිට හම්බන්තොට දක්වා ලුණු තොගයක් රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක ඉදිරි වම්පස රෝදය පුපුරා යාමත් සමඟ ලොරිය මාර්ගයේ වම් පස දිශාවට ඇදී ගොස් ආරක්ෂිත වැටේ ගැටී මීටර් 100ක පමණ දුරක් වැටදිගේ ඉදිරියටම ධාවනය වී කන්ටේනර් රථයේ ඉදිරිපස වම්පස රෝදය රක්‍ෂිත වැටේ සිරවී නතර වී ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් ජීවිත හානි හෝ තුවාල කිසිවක් නොමැති අතර ලොරියට සහ අධිවේගී මාර්ගයේ දේපළවලට පමණක් හානි සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා, ස්ථානාධිපති ගැලණිගම ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාතිලක සහ පොලිස් සැරයන් සම්පත් පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම සමූහ බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT