Home » වෙසක් සැරසිල්ල දැරියකට මරු කැඳවයි

වෙසක් සැරසිල්ල දැරියකට මරු කැඳවයි

by sachintha
May 12, 2025 1:13 am 0 comment

වෙසක් උදාව නිමිත්තෙන් පියා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී 9 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි මොරගහහේන පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරගහහේන, පාදුක්ක පාර, මිල්ලෑව ධම්මානන්ද පෙදෙස පදිංචිව සිටි පාදුක්ක වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ 5 වසර අධ්‍යාපනය ලබන වැලිකලගේ රේනි ටශ්මිලා දැරියයි.

මෙම දැරිය පවුලේ එකම දරුවා වන අතර පියා යුද හමුදාවේ සේවයේ නිරත වන්නෙක් බව පොලිසිය කියයි.

ඊයේ (11) සවස මව සහ දැරිය පමණක් නිවෙසේ සිට ඇති අතර දැරිය නිවෙස ඉදිරිපිට පාපැදියක් පදිමින් සිට ඇති අතර මව මුළුතැන්ගෙයි වැඩ කටයුතුවල නිරතව සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීඇත.

පාපැදිය පදිමින් සිටියේ දරුවා එකවරම කෑගහන සද්දයක් ඇසීමත් සමඟම මව මුළුතැන්ගෙයින් නිවෙස ඉදිරිපිටට ගොස් ඇති අතර යාබද නිවෙසක පදිංචි ඥාතියෙක් නිවෙසෙහි වම් පැත්ත වන්නට පාපැදිය මත බිම වැටී දඟලමින් සිටි දරුවා අසල තිබූ විදුලි රැහැනට පොල්ලකින් පහරදී ඉවත් කර ක්ෂණිකව දරුවාව රැගෙන පාදුක්ක රෝහල කරා රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

දරුවා ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සිදුකළ විමර්ශනවලදී වෙසක් උදාව නිමිත්තෙන් නිවෙසේ වැම්පැත්ත වන්නට ඇති විදුලි බල්බයේ හෝල්ඩරයට ඇඩැප්ටරයක් සවිකර අනාරක්ෂිතව වයරයක ආධාරයෙන් බල්බ් වැලකට විදුලිය ලබාගෙන ඇත. එම බල්බ් වැල මල් ගසකට දමා තිබී ඇති අතර බල්බ්වලට සම්බන්ධ කර තිබූ වයරය ගැල වී ගොස් දැරියගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 9699 සිසිර පොලිස් කොස්තාපල් 79101 බණ්ඩාර මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ සහ කොට්ටාව සමුහ – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT